Monday, August 14, 2017

අපිට හුංගියන් පහක්වත් ඕනමයි!!! නැද්ද හා...?


හුංගියන් ගැන ඔයාලා අහලා තියනවද? සමහරවිට අපේ පැත්තේ පාවිච්චි කරන මේ වචනේ වෙනුවට වෙන වෙන පැති වල වෙන වෙන වචන පාවිච්චි කරනවා ඇති.  ඒත් මහ පාරේ, වෙලේ, කමතේ සමහරවිට ගෙදර මිදුලේ සහ වැස්ස දවසක ගෙදරම ඉස්තෝප්පු කෑල්ලේ ක්‍රිකට් හෝ එල්ලේ වැනි ක්‍රීඩාවක් කල සියලු දෙනා 'හුංගි සංකල්පය' පාවිච්චි කරන්ඩ ඇති කියලයි මං හිතන්නේ.  මේ වචනයේ පටන් ගැනිල්ල සමහර විට 'සැගවුණු' පුද්ගලයා කියන එක වෙන්ඩ පුළුවන්. සමහරවිට වෙනත් භාෂාවකින් ආවා වෙන්ඩත් පුළුවන්. ඒ මොකක් උනත් වැදගත් වෙන්නේ 'සංකල්පයයි' ඒක ක්‍රියාත්මක කරන විදිහයි. නැද්ද හා...?. මේ කතාව හුංගි සංකල්පය ක්‍රියාවේ යෙදවීම ගැන කට්ටකාඩුවේ ලොකු මල්ලී ගේ ඉස්තරම් අත්දැකීම්. ආය කොපි කිරිලි නෑ. හොර කිරිලි නෑ.

අපේ ගම ඉතා කුඩා ගමක් බව මීට ඉස්සරලත් මං කිව්වනේ.  ඒකෙ තවත් ප්‍රථිපලයක් තමයි හවස ක්‍රිකට් ගහන්ඩ සැහෙන ප්‍රමාණයක් කට්ටිය එකතු කර ගැනීමේ අපහසුතාව. ඒ කාලේ  ටියුෂන් පන්ති වසංගතය තිබ්බේ නැති උනත් දහයකට දොළහකට වඩා පිරිසක් එකතු කර ගැනීම කොළ පාගන්ඩ මී හරක් බාන් පහක් හොයාගන්නවාට වඩා අමාරුයි. ඒ කට්ටිය  අතරෙත් අපිට වඩා අවුරුදු පහළවක් පමණ වැඩිමල් ගම්පාලුවා වගේ අයත් අවුරුදු දහයක් පමණ වැඩිමල් ජගත් අයියා වගේ අයත් අවුරුදු හතරක් පහක් බාල සැට් එකකුත් හිටියා. කොටින්ම එකෙක් ඉපදෙන කොට මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන් වගේ අය ලංකාවට සෙල්ලම් කරන අතර සමහරුන් ඉපදුනේ දුලිප් මෙන්ඩිස් ගෙ කාලේදී.


මේ අයගේ දස්සකමුත් අහසට පොලව වගේ. උදාහරණයක් ලෙස ජගත් අයියා පළාතේම හිටි හොදම වේග පන්දු යවන්නා වූ අතර ඔහු බැට් කරන විට වෙල් යාය කොනේ ඇළ දිගට තුන් දෙනෙක් වත් බෝල ඇහිදින්ඩ ඉදීම ඕනෑමයි. ඔව් ඔව් ඕක කියන්ඩත් දෙයක් යැ ඇළ තමයි බවුන්ඩ්රිය. හැබැයි පුතෝ ඇළට උඩින් පල්ලෙහා ගෙදර මාමලාගේ වත්තට ගැහුවොත් ඌ අවුට්!. ඒ බොලේ හොයාගන්ඩ පය භාගයක් විතර යන හින්දා. සමහරවිට ජගත් අයියා නැෂනල් ටීම් එකට නොගියේ මේ නීතිය හින්දා හයේ පාරවල් ගහන එක අපේ ගමේදී තහනම් වෙච්චි හින්දා වෙන්ඩ පුළුවන්..

'පොඩි ළමයා' වැන්නවුන් ගැලපුනේ නියරවල්  උඩින් දුවගොස් බෝල රකින්ඩ. ඒ අතර බැට් එක අල්ලාගන්නේ මිට පැත්තෙන්ද අනෙක් පැත්තෙන්දැයි කවදාවත් තේරුම් ගත නොහැකි වූ මෑන්ස්ලත් හිටියා. සමහර විට මෙවැනි චරිත ක්‍රිකට් පටන් ගත් දවසේ ඉදලම ඉන්ඩ ඇති.. සිලි පොයින්ට්, සිලි මිඩොන් වගේ  තැන් හැදුවේ ඔවැනි අපතයන් සිටුවීමටද විය හැක. "ඒ වගේ උන් ඕන ටීම් එකක ඉන්නවා. ප්‍රශ්නේ එහෙම උන් එකොළහක් ම එක ටීම් එකකට සෙල්ලම් කරනවද කියන එකයි" ඒ අපත චරිත ගැන ලගකදී අපි සිම්බාබ්වේට පැරදුන වෙලාවේ අපේ ගමේ ක්‍රිකට් විචාරක කඩේ මාමා කියපු දේවල් බලන් ගියාම ඒකත් ඇත්ත නැද්ද හා..? .

මේ වගේ ප්‍රශ්න තියන වෙලාවක බැලන්ස් ටීම් දෙකක් හදා ගන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් බව හැමෝටම තේරෙනවා. හුංගි සංකල්පය අපේ පිහිටට එන්නේ මේ වෙලාවට. දුර්වල කණ්ඩායමට හුංගියෝ එකෙක් දෙන්නෙක් දෙනවා. ඇත්තටම හුංගියා කියල කෙනෙක් නෑ. ඒත් දැනටමත් පිලේ ඉන්න කෙනෙකුට මේ ඉන්විසිබල් නැත්නම් පේන්නේ නැති හුංගියා වෙනුවෙන් බැට් කරන්ඩ හම්බ වෙනවා. බෝල රකින්ඩ නම් මේකෙන් වැඩක් නෑ. ඒත් ලිමිටඩ් ඕවර් මැච් එකක දී නම් බෝලර් කෙනෙක් විදිහටත් හුංගියා එනවා. නිකමට හිතන්ඩකො සංගාට හරි මහේලට හරි අපේ කාලේ නම් අරවින්දට හරි දෙපාරක් බැට් කරන්ඩ දුන්න කියලා...නැත්නම් මුරලි හරි වාස් හරි ඕවර් 50 මැච් එකක ඕවර් 20 යවනවා කියලා තනියම....කොහොමද අනිත් පැත්තේ උන් කන කෑම...? අති විශිෂ්ටයි නේද?

ඉතින් මගේ අත්දැකීම මොකද්ද කියලා කවුරු හරි හිතුව නම් මෙන්න මේකයි ඒක.
මාත් අයිති උනේ වැඩි දස්සකමක් නැති සෙට් එකට. හැබැයි මං තමයි පිල් දෙකින් එකක නායකයා අනිවාර්යෙම්ම. අනිත් පැත්තෙත් කැප්ටන් මං වගේම එකෙක් හරියටම කිව්වොත් අනිලයා. අපේ දස්සකම තමයි තමුන්ගේ ටීම් එකේ බැරිකම කියලා හුංගියෝ ගන්න එක. එක අතකින් කීවොත් ටීම් එක වෙනුවෙන් හිගා කන එක. අපි දෙන්නා මේ වැඩේ හොදටම කරන හින්දා තමයි අපිට කැප්ටන් කම හම්බ වෙන්නේ නිතරගයෙන්. හුංගියෝ දෙන්නෙක් හරි ඊට වැඩියෙන් හරි ගත්තොත් මං ගොඩ. ඒ එක හුංගියෙක් වෙනුවට මටත් බැට් කරන්ඩ හම්බ වෙන හින්දා. අපේ කාලේ බැට් කිරිල්ලට තමයි පොර කන්නේ. අඩු මහන්සියකින් උපරිම ආතල් එකක් ගන්ඩ පුලුවන්නේ බැට් කිරිල්ලෙන් තමයි ගමේදී. නැද්ද හා...?

ඉතින් මොකද්ද මේකෙන් දැන් ගන්ඩ පුළුවන් ප්‍රයෝජනේ?

නෑ මං මේ නිකං කිව්වේ...අපි මේ දවස් වල පරදින පැරදිල්ලේ හැටියට අපිටත් හුංගියෝ හතර පස් දෙනෙක් ඉල්ලා ගන්ඩ පුලුවන්ද කියලා හිතුවොත් හොඳයි නේද කියලා මට හිතිච්ච හින්දා. ඔය මොකා කොහොම කිව්වත් මේ වගේ ලොන්ත ටීම් එකක් ගහන මැච් බලන එක මහ අප්පිරියාවක්. ජගත් අයියාත් දැන් වයසයි නැත්නං පොරව හරි එවන්ඩ තිබ්බා ටීම් එක බේර ගන්ඩ. ඕන්නම් මං එන්නං කැප්ටන් විදිහට...මං ඉල්ලලා දෙන්නං හුංගියෝ හතර පස් දෙනෙක්. කඩේ මාමා නම් හිතන්නේ දැන් තියන තත්වේ අනුව අපිට අඩු ගානේ හුංගියෝ පස් දෙනෙක් වත් ඕන කියලා. ඇත්තටම ඒක තමයි හුංගියෝ ඉන්ඩ පුළුවන් වැඩිම ගාන ටීම් එකේ ඉන්නේ 11 නම්. පහට වඩා වැඩි උනොත් එකෙකුට තුන් පාරක් ගහන්ඩ පුළුවන් එක ඉනිමකදී...ඇත්තට ඒකත් නරක නෑ. නැද්ද හා..?


මේ දවස් වල ලංකාවේ ටීම් එක බේරා ගන්ඩ මට කරන්ඩ පුළුවන් එච්චරයි ඕං...මේ සංකල්පේ ඉස්සරහට ගෙනිහුං, අයි.සී.සී එකේ අවසර අරගෙන, වැඩේ පත්තු කරලා, ටීම් එක බේර ගන්න එක මණ්ඩලේ වැඩක්...නැද්ද හා..???

3 comments:

  1. අපේ කණ්ඩායම් වෙනුවට හුන්ගියෝ විතරක් දාල ගස්සවන්ද බැරිද?

    ReplyDelete
  2. දැනට මාස කීපෙකට උඩදී මට ක්‍රිකට් සභාපති තිලංග මුණගැහුනා විදේශයකදී. ඒ කාලෙ අපේ ටීම් එක මෙපමණ චාටර් නැතත් මම ඔහුගෙන් ටීම් එකට වෙලා තියෙන්නේ මොකක්ද කියල ඇහුවා. ලණුවට උඩින් ගහගන්න පක පණ ඇති එකෙක් ටීම් එකේ නෑ කියලයි ඔහු කිව්වේ. වයස ගියත් ජගත් අයිය ගෙනාවොත් දැන් ඉන්න උන්ට වඩා හොඳට ගහයි.

    ReplyDelete