ගජේ ගැහිල්ල යනු ලංකාවේ කැම්පස් එකකට ගිය කාටවත්
අමුතුවෙන් කියලා දෙන්ඩ ඕන කාරණයක් නෙවෙයි. හැබැයි මගේ පහුගිය 'හුංගියෝ' ගැන ලිපිය
කියවපු සමහරු මට කිව්වා ඒ සංකල්පේ පාවිච්චි කළා හැබැයි එහෙම වචනයක් මීට ඉස්සර අහලා
තිබුනේ නෑ කියලා. කවුද දන්නේ ගජේ ගැහිල්ලටත් වෙන පළාත් වල වෙන වෙන නං කියනවද
කියලා. ඒ හින්ද ගජේ ගැහිල්ල කියලා මං අදහස් කරන්නේ මොකද්ද කියලා සහ සුද්දෙන්ම
කියලා හිටින්නං. ඕං ලියාගල්ලා... ගජේ ගැහීම යනු සල්ලිවත් වෙන කිසිම අතට අහුවෙන හෝ
අහු නොවෙන දෙයක් වත් අයිතිකාරයාට නොදී දේවල් අපි පාවිච්චි කරන එක. අනුන්ගේ කාමර වල
නැවතිලා ඉන්න එක අනුන්ගේ ෂර්ට් කලිසම් පාවිච්චිය විතරක් නෙවෙයි බයිසිකල් පාවිච්චිය
උනත් මේ ගජේ ගැහිල්ලට අයිති උනා. . කොටින්ම අනුන්ගේ කාමරේක නොමිලේ වාසය!!! දැන්
කවුරුවත් අහන්ඩ එපා කසාද බැදපුවම ගෑනිගේ ගෙදර මිනිහා ඉන්න එක හරි මිනිහගේ ගෙදර
ගෑණි ඉන්න එකට හරි ගජේ ගහනවා කියල කියන්ඩ පුලුවන්ද කියලා....මගෙන් කුණු හරුප
අහන්නේ නැතුව බලාපල්ලා මගේ ගජේ ගැහිල්ලේ නිර්වචනය...
පේරාදෙණියේ හිටපු අපිටත් ගජේ ගැහිල්ල අමුතු දෙයක් උනේ
නෑ. පළවෙනි අවුරුද්දේ මුල ජ්‍යෙශ්ඨ උත්තමයෙක් ගේ කාමරේ මාකස් එකේ..පළවෙනි
අවුරුද්දේ අගයි දෙවෙනි අවුරුද්දෙයි හිල්ඩා එකේ අපේ කාමරේ ජ්‍යෙශ්ඨ උත්තමයෙකුයි අති ජ්‍යෙශ්ඨ
උත්තමයෙකුයි. තුන්වැනි අවුරුද්දේ අග ආයෙත් ජ්‍යෙශ්ඨ උත්තමයෙක්ගේ කාමරේ ජයතිලකේ. අන්තිම
අවුරුද්දේ ජයතිලකේ අපේ කාමරේ කැම්පස් එකෙන් අවුට් වෙච්ච ජ්‍යෙශ්ඨ උත්තමයෙකුයි
ජුන්ඩෙකුයි. ඉවරද...? නෑ …තව ඉවර නෑ ….ප්‍රොජෙක්ට් එක කරන
කාලේ සරසවි උයනේ අපේ කාමරේ සයන්ස් ෆැකල්ටි එකේ කුණු කබ්බෙකුයි අපේ සින්නො
දෙන්නෙකුයි...මගේ අම්මේ බලං ගියාම මුළු කැම්පස් ජීවිතේම ගජේ ගැහිල්ලත් එක්කනේ ඉදලා
තියෙන්නේ!!!. ඔය උඩ චේදේ
මාකස්, හිල්ඩා, ජයතිලකේ කියලා
කියන්නේ කොල්ලොන්ගේ කෙල්ලන්ගේ නං හෙම නෙවෙයි. ආය වැරදියට ගන්ඩ එපා...මතකනේ
නිර්වචනේ.
මං මේ කියන්ඩ යන කතාව උනේ 2001දී. ඔය කාලේ
තමයි අපි ජයතිලකේ සින්නො තුන් දෙනෙක්ගේ කාමරේ ගජේට හිටියේ. ඩප්පියයි මමයි ගජේට
හිටියේ සරදියෙල්ගෙයි එලුවාගෙයි කාමරේ. කාමරේට තව අයිති කාරයෙක් හිටියා. එත් ඌ
කවදාවත් කාමරේට ආවේ නෑ. මට දැන් සැකයක් එනවා ඒ තුන්වැනියා හුංගියෙක්ද කියලත්.
සරදියෙලුයි එලුවයි ඒ කාලේ අන්තිම අවුරුද්දේ ප්‍රොජෙක්ට් එක කරනවා. ඒ හින්දා උන්
කාමරේට එන්නේ කලාතුරකින්. ඉතිං කාමරේ අපේ වගේ තමයි.
ඔහොම දැහැමින් සෙමින් කාලය ගත වෙද්දී ලංකාවේ ජන සංගණනය
ආවා කියමුකෝ. ගෙවල් වල ඉන්න කට්ටිය ගනං කරන්ඩ ග්‍රාම සේවක මහත්තයයි තව කට්ටියකුයි
එක රෑක මුළු ගමේම ගෙවල් වලට යනවා. බැරි වෙලාවත් අපේ ගෙදර ඉන්න කෙනෙක් එදාට පිට
තැනක නම් ඉන්නේ එයාව ගණන් ගැනෙන්නේ ඒ ඉන්න තැනේදී. කොටින්ම 'හුංගියන්ව' ගණන් ගන්නේ නෑ
සංගණනේදී. රෑට මේක කරන්නේ වැඩියෙන්ම කට්ටිය එක තැනකට වෙලා ඉන්නේ රෑ කාලේ හින්දා.
ඔය කියන දවසේ මං හිටියේ කැම්පස් එකේ.
“මචං හෙට රෑට
සබා (ජයතිලක ශාලාව බාරව කටයුතු කරන උප ශාලාධිපති නොහොත් සබ් වෝඩන් නොහොත් Sub Warden) එනවලු ජන සංගණනෙට” ඩප්පියා මට මතක් කරේ
සංගණනේ හෙට කියලා අද උදේ.
“ඉතින් මොකද? මං නං මිනී
මරලා පොලිසියෙන් කට්ටි පනින එකෙක් නෙවෙයි...උඹත් ලොකු අපරාධ කරලා නෑනේ කෙල්ලෙක්
දෙන්නෙක් දූෂණය කරාට?”
“ඒ උනාට අපේ
අයිඩෙන්ටිටි කාඩ් ඉල්ලුවොත්?”
“ඉතින් මොකද
දෙනවනේ?”
“යකෝ එතකොට
සබාට අතේ මාට්ටුනේ..”
“මොකද්ද?”
“අපි ඉන්නේ
ගජේට කියලා...”
මගේ බොක්ක රත් උනා සුටුස් ගාලා. අප්පට සිරි මට එහෙම එකක්
මතක් උනේ නෑනේ.
ගජේ ගැහිල්ල පොතේ හැටියට නීති විරෝධියි. ඒක සිද්ධ වෙනවා
කියලා මුළු ලෝකෙම දැනගෙන හිටියත් කවුරුවත් ඒ ගැන තදින් හොයලා බැලුවේ නෑ. සමහර විට
ඒ ගැන හොයලා බලන්ඩ හිටපු කට්ටියත් ඒ අයගේ ශිෂ්‍ය ජීවිතේදී ගජේ ගහපු අය හින්දා
වෙන්ඩ ඇති ඒ. හැබැයි අපි කවදාවත් ලැබිච්ච නිදහස
අයුතු විදිහට පාවිච්චි කලේ නෑ. ඒ කියන්නේ අපි ගජේ ට ඉඳගෙන කාමරේ ප්‍රශ්න ගැන කතා
කරන්ඩ සබා ගාවට ගියේ නෑ සබා සබාගේ පාඩුවේ හිටියා අපි අපේ පාඩුවේ!!!.සංගණනේ ට සබා කාමර
ගානේ එනකොට ඌට මූණ දෙන්නේ කොහොමද මේ තත්වෙන්?
“ඉතින් මොකද බං
කරන්නේ?”
“අපි අරුන්
දෙන්නගෙන් අයි. ඩී. දෙක ඉල්ලගම්මු”
“ඒත් මූණු
වෙනස් නේ...සබා අපිව අදුන ගනියිනේ?” ඩප්පියයි සරදියෙලුයි
ටිකක් එක වගේ. ඒත් එලුවයි මමයි අහසට පොලොව වගේ. ඌ කෙට්ටුයි කලුයි. මං ඌට වඩා මහතයි
සුදුයි (ඌට වඩා ඈ...)
“උඹ ඇදට වෙලා
පොරවාගෙන හිටපං උණ හැදිච්ච විදිහට. මං කතා කරලා ෂේප් කර ගන්නං වැඩේ...”
“ආ එහෙම හොදා.” ඩප්පියා කොහොමත් හොද
ප්ලෑන් ගහනවා. මාතලේ කොල්ලෙක්නේ.
අපේ වාසනාවට එදා ෆැකල්ටියේදී සරදියෙලුයි එලුවයි දෙන්නම
හම්බ උනා. උන් ලයිබ්රි එකට ඇවිත් පොත් වගයක් හොයා ගන්ඩ. මං එලුවා ගාවට කිට්ටු උනා.
“මචන්, උඹේ අයි. ඩී. එක අදට ඉල්ලා ගන්ඩ
පුලුවන්ද?”
“ත්...ත්...තොට
ම්...ම්.....මොකටද...ම්ම්ම් මගේ අයි ඩ් ඩ් ඩ් ඩී එක...” එලුවා ටිකක් ගොත
ගහනවා. ඒ උගේ හැටි.
“අද මං හොස්ටල්
එකේ ඉන්නවා. ඉතින් සංගණනෙට සබා ආපුවම පෙන්නන්ඩ උඹේ අයි. ඩී. එක එපෑය.”
“න් න් නැතුව
බ් බ් බ්ලු ස් ස් සී... ඩ් ඩ් ඩී...ග් ග් ... ගන්ඩ ඇපේට තියන්ඩ න්..න් න්..
නෙවෙයිනේ?”
“සී. ඩී. අරන් මොකේට දාලා
බලන්ඩද බල්ලෝ...දෙන්ඩ බැරි නම් තියා ගනිං...මං කියනවා එලුවා ගිය සතියේ මලා උගේ
හොස්ටල් එකේ තියන බඩු ටික ගෙදරට ගෙනියන්ඩ තමයි මං ආවේ කියලා...එතකොට හරිනේ....”
“තොප්පිට්ට කාමරෙත් දීලා අප් ප්
ප් ප් පි මරණ ස්ස්සහතිකෙත් ලියව ගන්ඩ නේද? හ් හ් හ් හරි
මට තුනට රෙෆරන්ස් පොතක් ගන්ඩ ඕන. තුන හමාරට වරෙන් මං දෙන්නං”
මං තුන හමාරට
ගිහිං එලුවාගෙන් අයි ඩී එකත් ඉල්ලගෙන හොස්ටල් එකට ගියා. එලුවා ගෙදර යනවා කියලා ගලහ
හන්දියට ගියා. මං කාමරේට යනකොට ඩප්පියා කාමරේ.
“උඹ ඉල්ලා
ගත්තද අයි. ඩී. එක අරූගෙන්?”
“ඌ කෙල්ලත්
එක්ක ලයිබ්රි එකේ. මං ඉතින් කරදර කරන්ඩ ගියේ නෑ. උගේ බෑග් එක කවුන්ටරේ තිබුනා. මං
එක ඇරලා අයි.ඩී. එක අරං ආවා...”
“එහෙනං කමක් නෑ
මාත් එලුවගෙන් අයි ඩී එක ඉල්ලා ගත්තා...”
එදා රෑ කාලේ ආවා. රෑ හත හමාරට ඉස්සර කැන්ටිමෙන් කාලා
කාමර වලට වෙලා ඉන්ඩ කියලා පෝස්ටරයක් ගහලා තිබුනා. ඉතින් අපි හතට විතර කැන්ටිමට
ගිහිං කාලා කාමරේට ආවා...එනකොට කාමරේ දොර ඇරලා
සරදියෙල් ඇඳ උඩ ඇලවෙලා....
“කෝ එලුවා ආවේ
නැද්ද?”
“නෑ… එලුවා ගෙදර ගියා නේද?. අපි හිතුවේ
උඹත් අද ගෙදර යනවා කියලා”
“ගෙදර යන්ඩ
තමයි හිටියේ අර පරයා කරපු බලු වැඩක් හින්දා මට ලයිබ්රි එකෙන් රෙෆරන්ස් පොතක් ගන්ඩ
බැරි උනා. ඒ හින්දා මං මෙහෙ ආවා. මට ඉස්සරලා එලුවත් කාමරේට ඇවිල්ලා....”
ඩප්පියයි මමයි මූණෙන් මූණ බලා ගත්තා. අර පරයා කිව්වේ කාටද
කියලා අපි දෙන්නම දන්නවා. එලුවා ආපහු ආවේ ඇයි කියලවත් අහන්ඩ බෑ. ඌ දැන් කොහේ හිටියත් තව ටිකකින් එයි. සමහර විට
සබා එක්කම එයිද දන්නෙත් නෑ. කාමරේ අයිති උන්ට. ඉතින් අපි
කොහොමද උන්ව එලවන්නේ. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කඩන් වැටුනා වගේ වැස්සකුත් පටන්
ගත්තා එතකොටම. අපි ගාව කුඩ නෑ. ඉතිං දැන් එලියට බැහැලා යන්ඩත් බෑ.
“මචං පොඩ්ඩක්
වරෙන්කො එලියට” ඩප්පියා මට
කතා කලා. “දැන් අපි මොකද
කරන්නේ? තව ටිකකින්
සබා එයි සංගණනෙට...”
අපිට ඉතුරු වෙලා තිබුනේ ලංකාවේ පුරවැසිකම තියා ගන්නවද
ජයතිලකේ ගජේකම තියා ගන්නවද කියලා තෝර ගන්ඩ
විතරයි. අපි තෝරාගත්තේ දෙවැනි එක. ඩප්පියයි මමයි ජයතිලකේ ටොයිලට් එකක්
ඇතුලේ හැංගුනා. පැයකට විතර පස්සේ කවුද එකෙක් ටොයිලට් එකට ආවා.
“සබා සංගණනෙට
ආවද?” ඩප්පියා එලියට බැහැල
උගෙන් ඇහුවා...
“මොන..? තව පටන්
ගත්තෙවත් නැද්ද කොහෙද!” උගේ උත්තරෙන්
තේරුනේ අපිට තව පැය දෙකක් වත් ටොයිලට් එක ඇතුලේ සද්ද නැතුව ඉන්ඩ වෙන බව. දහය හමාරට
විතර ටොයිලට් ආපු එකෙක් ගෙන් මං ඇහුවා සබා ඇවිල්ලා ගියාද කියලා.
“තව නෑ .
පල්ලෙහා තට්ටුව ඉවරයි. දැන් තමයි උඩට ආවේ.”
කැම්පස් එකේ
හිටපු අවුරුදු හතරටම ටොයිලට් එකක හිටපු කාලේ එකතු කලත් එදා අපේ වාර්තාව කඩන්ඩ බෑ.
අනික දෙන්නෙක් එක ටොයිලට් එකේ!!!එකොළහ හමාරට විතර එකෙක් ටොයිලට් ආවා. මං එලියට
බැහැලා ඇහුවා සබා ආවද කියලා.
“අපොයි ඔව්
දැන් පැය බාගෙකටත් වැඩියි ඇවිත් ගිහිං!!.”
අපි කාමරේට යනකොට සරදියෙල් හොදටම නිදි. අපි දොර ඇරපු
සද්දෙට ඌ ඇහැරුනා.
“තොපි මක බෑ
උනේ කොහාටද? මං හැම තැනම
හෙව්වා. බැරිම තැන තමයි නිදා ගත්තේ...කෝ එලුවා...ඌ උඹලත් එක්ක නෙවෙයිද හිටියේ?”
“අපි ටිකක්
එලියට ගියා...එලුවා අපිත් එක්ක හිටියේ නෑ. උඹනේ කිව්වේ එලුවා කාමරේ හිටියා
කියලා...”
“මං කිව්වේ ඌ
කාමරේට ඇවිල්ලා කියලා. මං ඌව දැක්කේ නෑ.”
“උඹ ඌව දැක්කේ
නැත්නං කොහොමද දන්නේ ඌ ආව කියලා.”
“ඇයි යකෝ මගේ
හොරකං කරපු අයි. ඩී. එක මේ මේසෙ උඩට
ගෙනාවෙ එලුවා නෙවෙයි නං කවුද?”
හ්ම්..ඒකත් එහෙමද...අපිට කතාව තේරුම් යනකොට පැය ගානක්
ටොයිලට් එකේ තැපලා ඉවරයි.
සරදියෙල් හිතුවේ උගේ අයි. ඩී. එක ඉස්සුවේ එලුවා කියල. අයි.ඩී. එක මේසෙ උඩ තියනකොට
එලුවත් කාමරේට ආව කියලා තමයි ඌ හිතුවේ. අපිත් වැඩිය හොයන්නේ බලන්නේ නැතුව කලබල
උනා. සබා එන්ඩ ඉස්සර දොරට තට්ටු කරන බවත්, කාමරේ ඇදන්
දෙක යට ඉඩ තියෙන බවත්, සබා ඇදවල්
යටට එබිලා සංගණනේ කරන්නේ නැති බවත් අපිට අමතක උනා. හැබැයි ටොයිලට් එකක පැය තුන
හතරක් අපි දෙන්නා එකට හිටපු බව ඩප්පියාටත් මටත් තාම මතකයි.
lol
ReplyDeleteස්තූතියි...නැවත එන්න
ReplyDeleteඑක සත්‍ය කතාවක් . කැම්පස් එකේ කාමරවල හිටපු හැටි මතක් වෙනවා.
ReplyDelete