Wednesday, August 9, 2017

රවී මහත්තයාගේ සහයට ෂර්ලොක් හෝම්ස් !!



අපේ රවී මහත්තයාව එක එක අලකලංචි වල පටලවන්ඩ එතුමාගේ හතුරෝ වගේම මිතුරොත් උඩ පැනලා බල්ටියකුත් ගහලා එන කාලයක් මේක. මං මීට ඉස්සරලත් කිව්වනේ මං නං බොක්කෙන්ම අපේ රවී මහත්තයා ගේ පැත්තේ විත්තිය. ඉතිං මට කල්පනා උනා අපි එතුමාගේ උදව්වට බාර හාර වෙලා, සාකච්ඡා සම්මන්ත්‍රණ තියාල, උද්ඝෝෂණ තියල, හර්තාල් කරලා, උපවාස තියල විතරක් හරියන්නේ නෑ, ලෝකේ ඉන්න හොදම වැඩ කාරයෝ කීප දෙනෙකුත් සම්බන්ධ කර ගන්ඩ ඕන කියලා වැඩේට. නීතිපති දෙපාර්තමේන්තුවත් රවී මහත්තයාට විරුද්ධ එකේ පොලිසිය ගැන කවර කථාද? අනික අපේ පැත්තෙ වැඩ ටික ඔක්කොම දැනගෙන අන්තිම මොහොතෙ 'නීතිය නැව්වොත්' ආය මොන දෙයියට කියන්ඩද කිරි අප්පේ!!

ඉතින් අල්ලනවනම් ලෝකෙම්ම කප් ගහපු කෙනෙක් වෙන්ඩ ඕන. සුද්දෙක් නං වඩා හොදයි...උන්ට මේවගේ අග මුල තේරෙනවා අපේ ගමේ එකාලට වගේ නෙවෙයි. මං රවී මහත්තයාට කියන්ඩ ඕන පෙරකදෝරුවෝ උනත් ලංකාවෙන් නම් ගන්ඩ එපා කියලා. උන් බලාගෙන ඉන්නේ අපේ මහත්තයාට වරදින කල් පස්ස උඩ දා ගෙන හිනා වෙන්ඩ. මේ වැඩේට සුදු හම තියන පෙරකදෝරුවෝ ටිකකුයි අපේ මහත්තයාට මේ දහ පදුරා කතා හදන එවුන් කවුද කියලා හොයා ගන්ඩ රහස් පොලිස් සැට් එකකුයි හොයා ගන්ඩ ඕන. රහස් පොලිස් සුද්දෙක් කියන කොට මට මතක් උනේ අර ෂර්ලොක් හෝම්ස් මහත්තයා. අන්න පොරවල්!! ඉතින් මං හොයල බැලුව කොහොමද එතුමාගේ සේවේ ලබා ගන්නේ කියල...මගේ මට්ටමෙන් රවී මහත්තයාට කරන්ඩ පුළුවන් උදව්ව ඒකයි.



අපේ පුස්තකාලේ තිබුනා ෂර්ලොක් මහත්තයා ගේ වැඩ ගැන ලියලා තිබ්බ පොතක්. නම "තෝර් පාලමේ අභිරහස". කතාව  කෙටියෙන් ගත්තොත් මෙහෙමයි
නීල් ගිබ්සන් මහත්තයා රන් ආකර අයිති ධනවතෙක්. ඔහුගේ බිරිදව මරා දැමෙනවා. ගිබ්සන් මහත්තයා ගේ ගෙදර පදිංචි වෙලා ඒ මහත්තයාගේ ළමයින්ට උගන්නාපු ගුරුවරී ඒ කියන්නේ ඩන්බාර් මෙනවියව තමයි මිනී මැරුමට ප්‍රධාන සැක කාරිය. ගිබ්සන් නෝනව මරලා තියෙන්නේ තෝර් පාලම උඩදී  පිස්තෝලෙකින් වෙඩි තියලා. ඒ වෙඩි තැබිල්ලට පාවිච්චි කරා කියලා සැක කරන පිස්තෝලෙ ඩන්බාර් නෝනගේ ඇඳුම් අල්මාරියේ බිම තිබිලා පොලිසියෙන් හොයා ගන්නවා. හැම සැකයක්ම එල්ල වෙන්නේ ඩන්බාර් නෝනා දිහාට. හොද වෙලාවට ඒ කාලේ 'සගවා තිබු ආයුධ පෙන්වීමට යාමේදී මාංචු දැමූ සැකකරු පොලීසියට වෙඩි තබා පලා යාමට තැත් කරන අතර පොලිසිය ආරක්ෂාව උදෙසා වෙඩි තැබීමේ' සෙල්ලම හොයා ගෙන තිබ්බේ නෑ. ඒ හින්දා අර ගුරුවරී පන පිටින් රිමාන්ඩ් එකට යනවා. 

අපේ ෂර්ලොක් මහත්තයාට ඉල්ලීමක් එනවා එතුමිය වෙනුවෙන් කරුණු හොයා බලන හැටියට. ඔන්න දැන් එනවා අපිට ඕනෑම කෑල්ලට...මෙහෙමයි ඒ දෙබස.

"මට පේන විදිහට නම් ඇයට විරුද්ධව තියන නඩුව හරි බරපතලයි එකම එක කාරණයක් ඇරුනහම"

"ඒ කාරණේ මොකක්ද හෝම්ස්" (එහෙම අහන්නේ හෝම්ස් ගේ යාලුවා වොට්සන්).

"ඇගේ ඇඳුම් අල්මාරියේ තිබිලා පිස්තෝලය හමුවීම"

දෙයියනේ හෝම්ස්! මට හිතෙන හැටියට නම් ඒක තමයි බරපතලම සිද්ධිය"

"එහෙමම නෑ වොට්සන්. මං මේ සිද්ධිය ගැන මුලින්ම උඩින් පල්ලෙන් කියවපු වෙලාවෙත් හිතුනා ඒක හරි පුදුම සහගතයි කියලා. දැන් මම මේ ගැන වඩා හොදින් දන්නා හින්දා හිතනවා ඒක තමයි ඇගේ ගැලවීමට විශ්වාසය තියන්ඩ තියන එකම සාධකය කියලා. අපි හැම වෙලාවේම බලන්ඩ ඕන කරුණු වල එකකට එකක් ගැලපෙන බව. එහෙම නැති හැම වෙලාවෙම මොකක් හරි ඇස් බැන්දුමක්, මුලා වීමක් තියනවා."

"මට ඔබව තේරෙන්නේ නෑ"

හොදයි වොට්සන් අපි හිතමු ඩන්බාර් මෙනවිය ඔබයි කියලා. හිතන්ඩ ඔබ හොදින්  හිතලා මතලා ඔබේ විරුද්ධවදියාව මරලා දාන්ඩයි සූදානම. ඔබ මේ වැඩේ සැලසුම් කරලායි තියෙන්නේ. විරුද්ධවාදියාට ලිපියක් ලිව්වා...ඇය ආවා...ආයුධය ඔබ අතේ...අපරාධය සිදු කළා. ඒක ඉහලම තලයේ වෘත්තීය මට්ටමේ වැඩක්. දැන් ඔබ මට කියන්නේ ඒ වගේ වෘත්තීය මට්ටමේ අපරාධයක් කරලා ඒ අපරාධය කරන්ඩ පාවිච්චි කරපු ආයුධය ලගම තියන පන් පදුරු ගොල්ලට විසි කරලා දාන්නේ නැතුව අපරාධකාරයෙක් විදිහට ඔබේ යාළුවන් අතර ඔබට තියන පිළිගැනීම නැතිවෙන ආකාරයට ඒ ආයුධය පරෙස්සමින් ගෙදර ගෙනිහින් පලවෙනියෙම්ම හොයා බලනු ඇතැයි හිතන්ඩ පුලුවන් රෙදි අල්මාරියේ හංගනවා වගේ මෝඩ වැඩක් කරයි කියලා. එහෙම කලොත් ඔබේ හොදම යාලුවෝ වත් පිළිගන්නේ නෑ ඔබ හොද වැඩ කාරයෙක් කියලා වොට්සන්!. මට හිතන්ඩ බෑ ඔබ එහෙම බාල වැඩක් කරයි කියලා…”

ඒ උනත් ඒ වෙලාවේ තිබුණු උද්වේගෙට..."

නෑ..! නෑ..!! වොට්සන් මං හිතන්නේ නෑ එහෙම වෙන්ඩ පුළුවන් කියලා..හොදින් හිතා මතා අපරාධයක් සැලසුම් කරන කොට ඒක වහන හැටිත් සැලසුම් කරනවාමයි.ඒ හින්දා මං විශ්වාස කරනවා අපිට මෙතැනදී පේන්ඩ තියෙන්නේ බරපතල වැරදි වැටහීමක් කියලා.

කතාව දිගටම යනවා...හැබැයි අපේ රවී මහත්තයා ආදර්සෙට ගන්ඩ ඕන කෑල්ල මෙතනින් ඉවරයි.

දැන් අපේ රවී මහත්තයාට බය නැතුව යන්ඩ පුළුවන් ඕන ජගතෙක් ඉස්සරහට...ගිහින් අහන්ඩ තියෙන්නේ මං හොරකං කළා නං උඹලා ඇවිල්ලා ඉස් ඉස්සෙල්ලාම හොයා බලන මගෙ ගෙදරටයි කාපු බීපු දේවල් වලටයි අඳින පළඳින දේවල් වලටයි මං හොරකං කරපු සල්ලි දායිද කියලා අහන්ඩයි.  එහෙම කරන්ඩ තරං මං මෝඩයෙක්ද බොලව්!!! කියලා සිංහ නාද කරන්ඩයි. 

එතකොට අපේ මහත්තයාගේ තරහ කාරයෝ නැටි අකුලාගෙන දුවන හැටි මට මැවිලා පේනවා. ඒ අතරේ අපේ ෂර්ලොක් මහත්තයාගේ මේ තෝර් පාලමේ කථාව කතාව පත්තර පිටු දෙක තුනක පොල්ගෙඩි අකුරෙන් ගහලා හැම එකාටම කියවන්ඩ දෙන්ඩ ඕන. ටී වී එකෙත් වැඩසටහන් දහය දොළහක් කරවන්ඩ ඕන. එව්වට සල්ලි කොහෙන්ද කියලා මොකෙක් හරි මූසලයෙක් ඇහුවොත් ආපිට අහන්ඩ අපිට තියනවා ෂර්ලොක් මහත්තයා ගෙන්ම හදා ගත්තු  වචන සැට් එකක්....

අපරාධකාරයෙක් විදිහට අපේ යාළුවන් අතර අපිට තියන පිළිගැනීම නැතිවෙන ආකාරයට, මෝඩ විදිහට වැඩ කරයි කියලා හිතුවද?”

එහෙම ප්රචාරයක් දෙන්ඩ සල්ලි නැත්නම් ප්රශ්නේ ගොඩම ගොඩ...යකෝ ඔච්චර ලොකු හොරකමක් කළා නම් මගේ නම සුද්ද කර ගන්ඩ පොස්ටර් ටිකක් ගහ ගන්ඩ වත් සල්ලි නැති වෙයිද කියලා අහත හැකි නොවැ සහ සුද්දෙන්ම.

ඒ හින්දා හතුරෝ විතරක් නෙවෙයි මිතුරොත්  උගුල්  අදිනවා කියලා විස්සෝප වෙන්ඩ කාරියක් නෑ රවී මහත්තයා ඔය මොකා නැතත් මායි ෂර්ලොක් මහත්තයයි ඉන්නවා ඔබතුමාත් එක්ක...ආ වොට්සන් මහත්තයත් අමතක කරන්ඩ එපා...!!!


හැබැයි රජෝ ලබන පාරවත් අපිටත් ඉතින් කළ ගුණ සලකන්ඩ ඕනෑ ඕං!!

1 comment:

  1. මෙයාට පුළුවන් ටයි කෝට් සේරම ගලවල අල්මාරියේ තියල නිකම් පාරේ ඇවිදින්ඩ

    ReplyDelete