Sunday, August 20, 2017

බකයා සහ සූටියගේ කෙල්ල


යමෙකුට මෙම ලිපිය නිසා සිත් රිදීමක් සිදුවේනම් මම සමාව ඉල්ලා සිටිමි. කුලය නැමති සංකල්පයට මම එකග නොවෙමි. එහෙත් කුලය හා එහි බලපෑම් පිලිබදව කතා නොකොට හතර කෝරළේ ගමක සත්‍ය සිදුවීම් ඔබ හමුවේ තැබීම උගහට කාර්යයකි. කුල ධූරාවලිය බලෙන් මානව සමාජය මත පැටවූවක් මිස ස්වභාවික සංසිද්ධියක් නොවේ. මම නැවතද අවධාරණය කරමි.  යමෙකුට මෙම ලිපිය නිසා සිත් රිදීමක් සිදුවේනම් කරුණාකර සමා වන්න.

මං මීට ඉස්සර ලියපු හුංගියෝ ගැන කතාවේ හිටපු අනිල් මතකද? මං එක පිලක කැප්ටන් වෙනකොට අනික් පිලේ කැප්ටන් වෙච්ච එකා. ඌ ගැන තමයි අද කතාව. අනිල් මට වඩා අවුරුදු පහ හයක් වැඩිමල්. අනිල් ගේ තාත්ත අපේ ගමේ පවුලක දරුවෙක්. එයාට ඉඩම් හම්බ උනා මහවැලි ව්‍යාපාරෙන් පොළොන්නරුවේ බකමූණ පැත්තේ. තමුන්ගේ බිරිදයි දරුවනුයි එක්ක බකමූනට පදිංචියට ගියාට එහෙ ජීවිතේ ලේසි පාසු එකක් උනේ නෑ. තමුන්ගේ වැඩිමල් දරුවගේ ඉගෙනීම වෙලේ කමතේ වැඩ වලට යෙද උනොත් කඩාකප්පල් වෙයි කියන බයක් මේ දෙමාපියන්ට ඇති උනා.  ඉතින් තමන් නොලබපු පොතේ පතේ ඉගෙනීම තමුන්ගේ දරුවන්ට දෙන්ඩ වළි කන ඕනෑම දෙමාපියෙක් වගේ අනිලගේ අම්මයි තාත්තයි දාහක් බලාපොරොත්තු තියාගෙන ඌව ආපහු තමුන්ගේ මුල් ගමට, ඒ කියන්නේ අපේ ගමට එවුවා. අනිල් ගේ කිරි අම්මා උගෙ බාර කාරයා උනා. කිරි අම්මගේ කණෙන් රිංගන්නේ කොහොමද කියලා අනිලට කියල දෙන්ඩ කවුරුවත් ඕන උන් නෑ. ආය ඉතිං කිව්වම මොකද කොල්ල යකා උනා. අලුතෙන් හම්බෙච්චි නිදහසත් එක්ක මූ දහ අට පාලිය නටන්ඩ ගත්තා.


ඉස්කෝලේ යන එකට එච්චර මනාපයක් නොදක්කුව අනිල් හවස් වරුවම ගත කලේ ගමේ තැන තැන. නිවාඩු දවස් වලට නම් මුළු දවසම එක එක තැන් වල. කඩේ ගාව, බෝක්කුව උඩ, වෙලේ ක්‍රිකට් හරි එල්ලේ හරි ගහන තැන, මල ගෙදරක, මගුල් ගෙදරක, බූරු පොලක පින්කම් ගෙදරක ආයෙත් බෝක්කුව ළඟ, කඩේ පිලේ , කමතේ, ගල් පොත්තේ, ඇලේ, ඕවිටේ, බෝක්කුව ළඟ හිටපු වෙලාව අනිලා ගෙදර හිටපු වෙලාවට වඩා සිය ගුණයක් විතර. කුකුළා අතින් අරන් ගෙදරින් එලියට බහින ඌ ආය ගෙදරට යන්නේ බිම් කරුවල නෙවෙයි රෑ අට නවයත් පහු උනාට පස්සේ.

අපිටත් මොකද...සෙල්ලං කරන්ඩ කට්ටිය මදි වෙලා හිටපු අපිට වෙන ගමකින් නෙවෙයි පිට සක්වලින් හරි කමක් නෑ එකෙක් එනවනම්. කාටත් වගේ අනිලටත් නං වානමක් වැටුනා (නං වානං කියන්නේ සිංහලෙන් කිව්වොත් නික් නේම්ස් වලට. අපබ්‍රන්සෙන් කිව්වොත් අන්වර්ථ නාම වලට) ඒ තමයි බකමූණා. ඒ, උගේ ස්ථීර පදිංචිය කියලා හැම තැනම තිබ්බේ බකමූණ හින්දා. හැබැයි අනිලයා හරි සිරියාවන්ත එකා. කඩිසරයි. හුගක් වෙලාවට හිනා වෙලා ඉන්නේ. ඕන කෙනෙකුගේ දුකකදී, කරදරේකදී පිහිටට එනවා. ටික කාලෙකින් බකමූණා, බකයා උනා.ඒ කියන්ඩ පහසුවට. ඔය කාලෙදිම ඌ අපේ සෙට් එකේ නැතුවම බැරි සාමාජිකයෙක් බවට පත් උනා.

බකයගේ විනෝදාංසේ සරුංගල් හදන එකයි වෙසක් කූඩු හදන එකයි. අනිත් උන් මේ දෙකම කරන්නේ අවුරුද්දේ එක කාලෙකදී විතරක් උනාට බකයට එහෙම කාලයක් නෑ. ඌ වෙසක් කූඩු හදන්ඩ පටන් ගන්නේ සිංහල අවුරුද්දටත් කලින්. සමහර විට මාර්තු වල විතර. ඒ මහ කන්නේ ගොයම් කපපුවම බකයාගේ තාත්තා මූට ඇති වෙන්ඩ සල්ලි එවන හින්දා. පලවෙනි කූඩුව හදලා කිරි අම්මලාගේ ගේ ඉස්සරහ තියන රඹුටන් ගහේ එල්ලලා ලයිට් දාලා අපි හැමෝටම පෙන්නන බකයා ඒ කූඩුව දවස් දෙක තුනකින් කඩලා දාන්නේ මොකක් හරි ඇදයක් දැකලා. දෙවෙනි කූඩුවටත් වෙන්නේ ඒකමයි. තුන්වැනි, හතරවැනි කූඩු එල්ලන්නෙත් නැතුව කුඩු පට්ටන් වෙන්නේ බකයාගේ හිතේ තියන කූඩුව ඒවා නොවෙන හින්දා. හැබැයි අපරාදේ කියන්ඩ බෑ මූට ඒක තේරෙන්නේ සැව් කොළ ඇලෙව්වටත් පස්සේ. මේ වෙනකොට වෙසක් උණ මුළු ගමේම බෝ වෙනවා. තරගෙට කූඩු හැදිල්ල පටන් ගන්නවා. බකයා යාලුවන්ට කූඩු හදන්ඩ උදව් වෙනවා. බැරි එකෙක් ඉන්නවා නම් සම්පූර්නයෙම්ම හදලා දෙනවා. ඉතින් බකයා අවුරුද්දේ හදන දහවෙනි දොළොස් වෙනි කූඩුව දක්වාම තියෙන්නේ වෙන ගෙවල් වල. 

තමුන්ට කියලා කූඩුවක් නැති බව බකයට මතක් වෙන්නේ වෙසක් දවසේ උදේ. අප්පට පුතේ... හතර විලි ලැජ්ජාවයි...මෙච්චර කූඩු ඔස්තාද්ගේ ගෙදර කූඩුවක් නැති උනාම!!! ඌ පන දාගෙන කූඩු හදන්ඩ පටන් ගන්නවා. එතකොට ගමේ අනික් උන් දන්සල් වදින්ඩ ගිහින්. නැත්නම් හවස පන්සල් ගිහිං. රෑ වෙලා තොරන් බලන්ඩ අම්මලා තාත්තලා එක්ක කෑගල්ලේ හරි නුවර හරි ගිහින්. බකයා කූඩුව එල්ලන වෙලාවට ඒ කියන්නේ රෑ දහයට විතර උගේ පාප මිත්‍රයෝ තොරන් බලනවා. බකයා කූඩුව ලගට වෙලා තනියම කූඩුව දිහා බලා ඉන්නවා....සරුංගල් වල සංතෑසියත් ඕකමයි.

බකයගේ මේ කූඩු හදන පුරුද්ද එතනින් නතර උනේ නෑ. අපි කාටත් ඉස්සර ඌ ඇත්තම කූඩුවක් හදන්ඩ තීරණය කෙරුවා. ඒ කියන්නේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා කසාද බදින්ඩ. අහල ගං හතේම හිටපු ලස්සනම කෙල්ල මූ තෝර ගත්තා. ඒ කෙල්ල නිකන් ඉටි රූපෙ වගේ. අවුරුදු කුමාරි තරග වලදි ඒකිත් එක්ක හැප්පෙන්ඩ අනිත් ගොරකියෝ එකෙකුටවත් බෑ. ඒකි හරියට නයිට් රයිඩර් එකේ ඉන්න සුද්දියක් වගේ. අපිට හිතුනේ එහෙමයි. ඒකිත් මූට කැමතියි. එකම පරහකට තිබුනේ කෙල්ලගේ කුලේ. බකයා ගොවි කුලේ. කෙල්ල පදු.

මේක අපේ ගමේදී සෑහෙන බරපතල ප්‍රශ්නයක්. දුප්පත් කම වෙලාගෙන හිටපු තමන්ගේ ජීවිත වල මොකක් හරි පොහොසත් කමක් හොයාගන්ඩ අපේ මිනිස්සු දරපු උත්සාහයේ ප්‍රතිපලේ තමයි කුල බේදේ දිගටම පවත්වාගෙන ඒම. ජාති බේදෙ හරි උඩරට- පාතරට බේදෙ හරි වෙන මොන බේදයක් හරි පවත්තගෙන එන්නේ මේ කාලකන්ණි උවමනාව වෙනුවෙන් කියලයි මට දැන් හිතෙන්නේ.
ඒත් ඒ කාලේ -ඔය කියන්නේ එක දාස් නවසිය අනූ ගණන් මුල එක්දාස් අටසිය ගණන් වල නෙවෙයි - අපිට ඔව්ව තේරුනේ නෑ.අපි දැනගෙන හිටියේ අඩු කුලේ මිනිහෙක් ගොවි ගෙදරකට ආපුවම සලකන විදිහ විතරයි. අඩු කුලේ මිනිහෙක් වතුර ඉල්ලුවොත් දෙන්ඩ වෙනම කෝප්පයක් අපේ ගමේ ගෙවල් වල තිබුනා. උන්ට ඉඳ  ගන්ඩ පුටුවක් දෙන්ඩ හොඳ නෑ.  බිම ඉඳ ගන්ඩ කියාපල්ලා. උන් අපිට කතා කරන්ඩ ඕන නිලමේ හරි මැණිකේ හරි කියලා. අපි කොච්චර වයසක මිනිහෙකුට උනත් කතා කරන්ඩ ඕන නම කියලා. පොඩි එවුන්ව අදුන්නන්නේ මහ උන්ගේ නමට කෑල්ලක් එක්කහු කරලා. බකයා යාලු වෙලා හිටපු එකී සූටියගේ කෙල්ල. ඒ අර කෙල්ලගේ තාත්තා සූටියා හින්දා.

දැන් මොකද කරන්නේ? බකයා අපේ කාන්ඩෙ ස්තීර සාමාජිකයෙක්. හැබැයි මූ සූටියගේ කෙල්ල බැන්දොත් ඌත් අඩු කුලේට වැටෙනවා. එතකොට කොහොමද අපි බකයට සලකන්ඩ ඕන? වෙනදා අපේ ගෙවල් වලින් කකා බිබී අපිත් එක්කම එක පැදුරේ නිදා ගෙන හිටපු එකා අඩු කුලේකට ගිහාම අපි කොහොමද ඌට කතා කරන්නේ. ඔය කාලේ අපි හුගක් පොඩියි. අවුරුදු දහයක් දොළහක් විතර ඇති. අපේ කාන්ඩෙ රංජියා බකයාගේ වයසෙමයි. ඌ දැනුං තේරුං තියන එකා. දවසක් අපේ ගෙදර බකයා ඇවිත් ඉස්තෝප්පුවේ පුටුවක වාඩි වෙලා කතා කර කර හිටියා. මේ වෙලාවේ රංජියත් ආව අපේ ගෙදර.

ඒයි බකයා මොකද තෝ පුටුවක වාඩි වෙලා?” අපි කාටවත් මේ හරුපෙ තේරුං ගන්ඩ බැරි උනා. වෙනදත් බකය වාඩි වෙලා ඉන්නේ එහෙමම තමයි.

ඇයි බං? මං උඹේ ඔලුව උඩ වාඩි වෙන්ඩයැ කියන්නේ?”

තෝ සූටියගේ කෙල්ල බදිනව නං තෝත් පද්දෙක්...ඉදගන් බිමින්!!

රංජි...!! බකයට පුදුමෙන් වගේ කිය උනා. අවුරුදු ගානක් එකට සෙල්ලං කරපු, එකට ජීවත් වෙච්චි යාළුවද මේ. ඌට හිතෙන්ඩ ඇති.

හා...හා...මට රංජි කියන්ඩ එපා.

එහෙනං මොකක් කියලද කතා කරන්ඩ ඕන?”

මට බන්ඩර මහත්තයා කියපං!!

බකයා ටික වෙලාවක් රංජියගේ මූණ දිහා බලා ගෙන හිටියා. උගේ ඇහේ කඳුලක් පිරිලා තිබුනද කියලා මට මතක නෑ. හැබැයි හිතේ නම් කඳුළු ගගක් ගලන්ඩ ඇති.බකයා නැගිට්ට පුටුවෙන්. මං හිතුවේ ඌ රංජියගේ කනට දෙකක් ගහයි කියලා. ඒත් ඌ එහෙම නොකර අපේ ගෙදරින් එලියට ගියා.

ටික දවසකින් බකයා අපේ ගමේ ගැවසෙන එක අඩු උනා. ඌ ටවුමට යන්ඩ එන්ඩ පටන් ගත්තා. අර කෙල්ලටත් ගෙදරින් නියෝග ආවා මේ සම්බන්දෙ නවත්තන්ඩ කියලා. බකයටත් ඒ කෙල්ලටත් මේ ප්‍රශ්න විසදා ගන්ඩ උදව් කරන්ඩ පුළුවන් යාලුවෙක් මිත්‍රයෙක් හිටියේ නෑ. ප්‍රශ්නේ ඇදි ඇදී යද්දී සූටියගේ කෙල්ල ගෙදරින් කතා කරපු කසාදෙකට කැමති උනා.

මගුල් ගෙදර දවසේ උදේ අපේ ගමට ඉහලින් උලමෙක් කෑ ගැහුව කියල සමහරු කිව්වා. එදා දවාලේ සූටියගේ කෙල්ල බැදලා ගමෙන් පිට උනා. හවස බකයා වල් බේත් බෝතලයක් එහෙම පිටින්ම බීල ගෙදර වැටිලා ඉන්නවා හම්බ උනා. එතකොටත් බකයාගේ වෙසක් කූඩු වගේම, හීන මවපු ආදර කූඩුවත්, පණත් විනාස වෙලා.


බකය අර කෙල්ලව බදිනවා නම් තමුන්ට බන්ඩර මහත්තයා කියන්ඩ කියපු රංජියා බැන්දෙත් අඩු කුලේක කෙල්ලෙක්මයි. කාලෙත් එක්ක ගම වෙනස් උනා. මිනිස්සුන්ගේ ඇත මිට සරු උනා. ඒත් එක්කම කුල බේදෙත් අඩු උනා. මං මේ ලගකදී බකයා වලලපු තැන ලගට ගියා. එතන පොළොවත් සමතලා වෙලා. බකයා ගැන කිසිම සලකුණක් දැන් නැති ගානයි. ඒත් හැම වෙසක් දවසකදිම මට බකයව මතක් වෙනවා. අපි වෙසක් කූඩු හදන්ඩ ගත්තු කාලෙ බුදු හාමුදුරුවො කියපු දේ තේරුම් ගන්ඩ උත්සාහ කළා නම් බකයා තවම ජීවතුන් අතර.

7 comments:

  1. විවෘර්ථ ආර්ථිකය නොආවනං තාමත් ඒ ආකාරයටම කුල තියෙන්න තිබුන

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙත් වෙන මොන තනි කාරනේකටත් වැඩියෙන් කුල බේදය අඩු වෙන්ඩ බල පෑවේ විවෘත ආර්ථිකය. හැබැයි තවම කුල ප්‍රශ්න හොල්මන් කරනවා.

      Delete
  2. දැන්නම් මේ තත්වය හුඟක් වෙනස් නේද.

    ReplyDelete
  3. අය්යෝ.... මාර දුක්බරයිනේ :-(

    ReplyDelete
    Replies
    1. අනිල් කියන්නේ කුල බේධය ගත්තු එක බිල්ලක් විතරයි. අපේ ගම් වල හුග දෙනෙක් කුල බේධය හින්දා තවමත් පීඩාවට පත් වෙනවා. ජීවිතේ අහිමි වීම් වෙන්නේ කලාතුරකින් උනත් වෙනත් බොහෝ දේවල් බහුලව අහිමි වෙන්ඩ කුල බේධය හේතු වෙනවා.

      Delete
  4. දැනටත් මේ කුල ප්‍රශ්න තියන්නේ මොකද කියල හිතාගන්නවත් බෑ.ඉස්සරනම් සමාජයේ සමතුලිතතාවයට ඕනි හින්දා කියල හිතන්න පුළුවන් .එක එක රැකියාවල පැවැත්මට).

    ReplyDelete