Thursday, August 24, 2017

වැඩ බැරි දාස ගැන සහ තවත් අය ගැන කතා


අසූව දශකයේ ළමා කාලයත් තරුණ කාලයත් ගෙවූ අපට සෝවියට් රුසියානු ළමා කථා, නව කථා, කෙටි කථා ආදිය අපූරු ලෝකයක් මැවීය. ගුරු ගීතයේ දුයිෂෙන්, අපේ කාලයේ වීරයෙක් ලෙස අලෙක්සි මෙරෙස්යෙව්, අම්මා සමග ආ පාවෙල් මෙන්ම හත් පෙති මලත්, වැඩ බැරි දාසත් අපේ ලෝකයේ දේදුණු විය. මල් විය. බඹරු මෙන්ම ඇල දොළ විය. හිරු හා සඳු විය. මගේ පළමු ප්‍රේමනීය අත්දැකීම 'පලාවන් තණ නිල්ලක හිද මද හස පාන ඔල්ගා වැනි තරුණියක් සමග වේවායි මම රහසින් පැතීමි. ඒ සිහිනයේ අලෙක්සෙයි මමය. හිම මත කරස්... කරස්... හඬ නගමින් පා තබන, හොර රහසේ පාවෙල්ට උදව් කරන ඇනා මට හමු වෙතියි සිතුවද ඇයද හමු නොවිණි. ගුරු ගීතයේ මෙන් පොප්ලර් ගස් වසර බොහෝ ගණනකට පසුව මා දුටු නමුත් එතන පාසලක් නොවීය. හත් පෙති මලක් පහල වී මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දෙනු ඇතැයි සිතුවද තවම එයද සිදු නොවිණි. කොටින්ම රුසියානු සාහිත්‍යයත් සමග අප මැවූ සිහින සැබෑ නොවිණි. 

ඒ රුසියානු පොත් ද ගිනි දෙවියාට පුදන්නට සිදු වූයේ එකල තිබූ රජය සහ එහි යාන්ත්‍රණයන් විසින් රුසියානු පොත් කියැවීම භයානක අපරාධයක් ලෙස සැලකු නිසාය. තනි කකුලෙන් යුධ ගුවන් යානා පැදවීමේ මෙරෙස්යෙව් ගේ සහෘද සිහිනය සිහිනය පසෙක තබා ජීවිතය රැක ගැනීමට පොත් පිච්චීමට අපට එකළ සිදු විය.

එහෙත් අපට දැන්  රජයේ අනුග්‍රහයෙන් නැවත ඒ සිහින ලෝකයට යෑමට අවස්තාවක් ලැබී තිබේ. ඇත්තෙන්ම සිහින ලෝකයට අප සියලු දෙනා ගෙන යාම වියදම් අධික කටයුත්තක් නිසා ඔවුන් ඒ සිහින චරිත සැබෑ ලෝකයට ගෙන එම පටන් ගෙන තිබේ. එවිට සිදු වන්නේ සිහිනය සහ සැබෑව එක් වීමකි. හෝකින්ගේ භෞතික විද්‍යාවට අනුව පදාර්ථය (matter) සහ ප්‍රති පදාර්ථයේ (anti-matter) එකතුවකි. තවත් අකාරයකින් කියන්නේ නම් ෆැන්ටසිය හා රියලිටිය එක් වීමකි. මුළු ලංකාවම එකම ඩිස්නිලන්තයක් වීමකි.


එහි මුල් කොටස පටන් ගන්නේ වැඩ බැරි දාස ගෙනි.

සිංහලයට දැදිගම වී. රුද්‍රිගු මහතා වැඩ බැරි දාසගේ කතා ලෙස පරිවර්තනය කලේ නිකොලායි නෝසව් විසින් දුන්නෝ ගේ වීර ක්‍රියා නමින් පල කල කතා මාලාවය. එහෙත් මෙවර අපේ ආණ්ඩුව අපිට ගෙනත් දෙන්නේ ඔරිජිනල් දාස කෙනෙකි. අපිට හොයා ගන්නට ඇත්තේ මේ කොයි දාස ද කියා පමණි. අනෙක් අතට දාස ගැන කතා විස්සක් පමණ මුද්‍රණය වී ඇති බව කියවෙතත් මා නම් කියවා ඇත්තේ ඉන් තුන හතරක් පමණි. එලෙසින්ම මෙවරද කතා බොහෝ ගණනක් තිබීමට හැකි නමුදු සාමාන්‍ය ජනතාව වන අප දන්නේ ඉන් කීපයක් පමණි. සමහර විට ඉස්සරහට තව තව කතා එලියට එනු ඇත. එතෙක් අපට දැන ගැනීමට ලැබී ඇති කතාව කියවා රස විදිමු.

කතාවේ පූර්ව ප්‍රචාරක පටය නොහොත් ට්‍රේලර් එක මෙසේය.

දාසට වැඩ බැරි බව ආණ්ඩුවේ අය කෙසේ වෙතත් මිනිස්සු දැනගෙන ටිකක් කල්ය. දාසට පමණක් නොව බොහෝ දෙනෙකුට වැඩ බැරි බව මිනිස්සු සිතති. එකම දෙය තමන් සිතන ලෙසටම තම මිතුරන්ද, අසල්වැසියන්ද, සතුරන්ද, මැදහත් අයද කොටින්ම ඉතා සුළු පිරිසක් හැරුණු කොට මුළු ලංකාවමද සිතන බව මිනිස්සු නොදන්නාකම පමණි. ඊට හේතුව ඔවුන්ට තොරතුරු දන ගැනීමට ඇති සියලු පිළිගත් මාධ්‍ය දාසලා විසින් බදු ගෙන සිටින නිසාය. දාසලාට විරුද්ධව සමහර මාධ්‍ය කරුණු කීවද මිනිස්සු සිතන්නේ ඒ මාධ්‍ය වලින් සැමවිටම පෙන්වන 'පක්ෂ' පාතිත්වය නිසා දාසලා ගැන වැරදි ඕනෑවට වඩා උලුප්පා පෙන්වන බවකි. 

දාසලාගේ මාධ්‍ය වලින් අපි දකින්නේ චන්දයට පෙර විරුද්ධවාදීන් විසින් වෙඩි තබා මරා දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී දිවි ගලවා ගන්නා දාසය. සුදු ඇඳුමකින් සැරසී ධාතු වඩම්මන දාසය. හාමුදුරුවරු ඉදිරිපිට පසග පිහිටුවා වඳින දාසය. රාජ්‍ය සම්පත් නැවත පවරා ගන්නා බවට පාරම්බාන දාසය. මහා ප්‍රාඥ දාසය. අසාධාරණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් පාරට බහින දාසය. නීතියේ දෙවගන හා විවාහ වීමට තරම් සුදුසුකම් සපුරා තිබූ දාසය. කොටින්ම හර්කියුලීස් මොන බල්ලෙක්දැයි හිතෙන ආකාරයේ වීර ක්‍රියා කරන දාසය.

අපි නොදකින එහෙම නැත්නම් අපිට අමතක වූ දාස කෙනෙක්ද සිටියේය. ඒ කුප්‍රකට ඇවන්ට් ගාඩ් අයිතිකාරයා සමග ආතල් ගත් දාසය. හොරුන්ව අත් අඩංගුවට ගැනීමට තමන් සිටින තුරු ඉඩ නොදෙමියි පාරම් බෑ දාසය. තමා යටතේ වූ ආයතන වලට ඇඟිලි ගසා තමන්ගේ හාම්පුතුන් වෙනුවෙන් කඩේ ගිය දාසය.   

මේ දාසගේ පසුබිමයි. දැන් කතාව ගලා යාම පටන් ගනියි.

දාස තමා වටේ සිටි 'පක්ෂ' පිලේ උන්ට කොකා පෙන්වා හයි ජම්ප් එකක් දමයි. දාස වැටෙන්නේ දාසට සතුරු කඳවුරක් යයි අප සිතා සිටි කොළ පාට කඳවුරකටය. ළඟ එන ගරිල්ලා යුද්ධයකට සූදානම් ව සිටින කොළ කඳවුරේ නායකයා, දාසව තමන් ලඟට ගෙන පාබළ සේනාවට ඇතුල් කරයි. එහෙත් දාස සිතා සිටින්නේ තමා සංඥා බලකායේ හෝ කාලතුවක්කු බලකායේ සිටින බවකි. යුද්ධය ඇරඹේ. එක සටනක් අවසන් වේ. දාස සහ ප්‍රේක්ෂක අපි සිතන්නේ මුළු යුද්ධයම අවසාන බවකි. මෙසේ මුලාවට පත් වන දාස තමන් පෙර සිටි 'පක්ෂ' කඳවුරත් සමග ඩීල් දමන්නට පටන් ගනී. ඒ තමාට අනාගත යුද්ධයකින් පසු එන රජුගේ අගමැතිකම ලබාදෙන   පොරොන්දුව පිට  කොළ පාට කඳවුරට ඇතුලෙන් ගිනි තැබීමේ කොන්ත්රාත්තුවය. මේ සීන් එක නිකං ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක එන ඩබල් ඒජන්ට් ගේ චරිතයමය. 

කොළ නායකයා දාසට වඩා ඇම්ඩෙකි. පොර ඩීල් දාන්නේ පක්ෂ පිලේ ලොක්කා සමගය. ඒ ලොක්කාද දාසගේ මහප්පෙකි. ඔහු එක් දිනෙක දාස ගැන සියලු විස්තර කොළ ලොක්කාට ලබා දෙන්නේ තම වරිගයේ තව දවසක පැවැත්මට පඬුරක් ලෙසය. තමන් කොළ පිලේ සංඥා බලකායේ ජෙනරාල් වරයෙකු බව සිතා සිටින දාස ගේ පස්සා පැත්තට පයින් දෙකක් අනින කොළ ලොක්කා තම කඳවුරෙන් දාස එලියට දමන්නේ කුලියට දුන් යුධ ඇඳුම් ටිකද ගලවා ගෙනය. තමා කොළ පිලේ පාබල බල මුළුවේ ආධුනික සෙබලෙක් බව දාස දැන ගන්නා විට පරක්කු වැඩිය. ඔහුට විසිවී වැටුන තැන ඉන්නට බැරිය. ඒ ඔහු නිරුවතින් නිසාය. ඔහුට යන්නට ඇත්තේ පක්ෂ කඳවුර පමණි. එහි සිටින හොරුනට දාසට ඇඳුම් ලබා දීමට වඩා ඔවුන් සොරා කෑ වස්තුව සැඟවීම වැදගත්ය. දැන් දාස හොරු සමග හෙලුවෙනි!!!

වෙනදා දාසගේ ගුණ ගැයූ මාධ්‍ය අද දාසගේ හම ගලවති. වෙනදා දාසට අම්ම මෝ නැතුව බැණ අඩ ගැසූ මාධ්‍ය අද 'දාස ගුණාලංකාරය පැයෙන් පැයට විකාශනය කරති. අපිට මෙන්ම දාසටද දැන් තත්වය තේරුම් ගැනීම අපහසුය.

ඊළඟට වෙන්නේ කුමක්දැයි දැන ගැනීමට අපි වේදිකාව දෙස බලා සිටිමු. යුද්ධයේ ඊළඟ සටන පටන් ගන්නේ කොයි වෙලාවේ ද? ඉන් දිනන්නේ කොළ නායකයාද දාස පෙර සිටි සහ දැන් සිටින 'පක්ෂ' කණ්ඩායමේ නායකයාද? ඒ සටනේ දාස සිටින්නේ පාබළ බල ඇණියකද සංඥා බල ඇණියකද? ඒ සාමාන්‍ය සෙබලෙක් ලෙසද නැත්නම් ජෙනරාල් වරයෙකු ලෙසදසාමාන්‍ය සෙබලෙක් ලෙස වුවත් ඔහු එවිටත් සිතා සිටිනු ඇත්තේ තමන් ජෙනරාල් වරයෙකු බවද? යුද්ධය අවසාන වීමෙන් පසු යුද්ධාධිකරණයට පක්ෂ නායකයා හෝ කොළ නායකයා ගෙන එන විට දාස කුමක් කරනු ඇද්ද?  යුද්ධාධිකරණයට කලින්ම දෙවැනි ලෝක යුද්ධයේදී මුසොලිනිට අත්වූ ඉරණම දාසටත් අත් වෙයිද? නැත්නම් දැනටමත් මේ චිත්‍රපටිය අවසන්ද? මුන් එකිනෙකා මරා ගන්න බව අපි සිතුවද දාසත්, කොළ නායකයාත්, පක්ෂ නායකයාත් අපිට කොකා පෙන්නන්නේද?

අපි මෙවැනි යුද්ධ චිත්‍රපටි බොහොමයක් මින්  නරඹා ඇත්තෙමු. ඒවායේදී මියගිය බවට අප සිතූ නළුවන්, නිළියන් වෙන චිත්‍රපටි වලින් නැවත අප හමුවට එති. නැත්නම් එම චිත්‍රපටියේම දෙවැනි කොටසේදී මුලින්ම අපි දකින්නේ පෙර කොටසේදී මියගිය නළුවාට නැවත පන දෙන ආකාරයයි. පෙර කොටසේදී දුෂ්ටයා වූ ඔහු මෙවර වීරයා  වෙයි. අපි මුලින් ඔහුගේ මරණයටත් දෙවනුව ඔහුගේ නැවත උපතටත් හුරේ දමමු. එනිසා වැඩ බැරි දාස ගැන තවම හරියටම හිතා ගැනීමට කල් වැඩිය. අපි අද වැඩ බැරි බව සිතා සිටින සමහරුන්ට ඇත්තටම වැඩ පුළුවන් බව දැනෙන්නේ පස්සට නිසාය. ඔබට උදාහරණ අවශ්‍ය නම් මෙන්න අලුත්ම එක.

අපි හිතුවේ මංගල මහත්තයා හොද වැඩ කාරයෙක් බවය. එතුමා විදේශ ඇමති ලෙස ප්‍රශංසනීය සේවයක් කල බව අපි සිතීමු. අනෙක් අතට රවී මහත්තයා අත උඩ කෙසේ වෙතත් අත යට වැඩ වලට දස්සයා බවත් අනික් වැඩ බැරි බවත් සිතීමු.  එහෙත් අපි සිතන විදිහ වැරදි බව ඔප්පු කරමින් මංගල මහත්තයා මුදල් ඇමති වෙද්දී ලොතරැයි මණ්ඩලය රවී මහත්තයා සමග විදේශයට ගියේය. ඒ මංගල මහත්තයාට වැඩ බැරි නිසා සහ රවී මහත්තයා වැඩකරු නිසා බව සිතීමට අපට බල කරනු ලැබිණි. මේ අඤඤ කොරොස් තත්වයෙන් අප සිටින විට රවී මහත්තයා ඉවත්වී ගොස් මාරපන මහත්තයා එතනට ආවේය. ඒ ඩිංගට ලොතරැයි මණ්ඩලය මංගල මහත්තයා ගාවට ගිහින්ය. දැන් අපි හිතන්නේ මාරපන මහත්තයාට වැඩ බැරි බවත් මංගල මහත්තයා වැඩ කරු බවත්ය. මේ පටලැවිල්ල ලිහා ගැනීමට මම වලි කෑවෙමි.අම්මපා දැන් මට නිකං පිස්සු වගේය!!!

එක්කෝ ආණ්ඩුවේ ඉන්න අයගේ දක්ෂතා මොනවාදැයි එහි ලොක්කෝ නොදනිති. එහෙම නැත්නම් හැම එකාම දස්සයෝය. එහෙම නැත්නම් හැම එකාම වැඩ බැරි දාස කෙනෙකි. මට හිතන විදිහට හරි උත්තරය ඒකය. එහෙම නම් එක දාස කෙනෙකුට විතරක් පයින් ගසා එලවා වැඩේ ගොඩ දා ගන්ඩ බැරිය. මේ දාසලා රොත්තම එළවිය යුතුය. මුං එලෙව්වොත් ඊළඟට එන්නේ කවුද? ඒ මීට හපන් වැඩ බැරි දාසලා සෙට් එකක් නොවේද? අපේ චන්ද දායකයෝ වැඩ කාරයෝ ටිකක් තෝරා එවනු ඇතැයි සිතිය හැකිද?.....එහෙම හිතනවට වඩා හොඳයි අද මැච් එක ලංකාව ලකුණු පන්සීයකින් විතර දිනයි කියලා හිතාගෙන මැච් එක බලන එක!!!

ප.ලි.


කියන්ඩ අමතක උනා. හෝකින්ගේ භෞතික විද්‍යා න්‍යායන්ට අනුව නම් පදාර්ථයයි (matter) ප්‍රති පදාර්ථයයි (anti-matter) එක තැනක තියෙන්ඩ බෑ. ඒ දෙක එක් උන ගමන් මහා විනාශයක් වෙනවා. ඒ කියන්නේ අපේ හීන කවදාවත් හැබෑ නොවෙනවා කියන එකද? එක්කෝ ඒ ගැන දැන්ම කලබල වෙන්ඩ හොඳ නෑ...ලංකාවේ සිද්ද වෙන්නේ විද්‍යාත්මක දේවල් නෙවෙයි නේ කොහේ හරි ඉන්න සාස්තර කාරයෝ කියන දේවල් නේ...නේද?

2 comments:

  1. apita pissu pyi
    hari ekekuta chandayak deeganna bari una thama ape kalakanni hathi kareta

    ReplyDelete
  2. ලොකු දාසත් එලියට යන්ඔ ඕන නේද?

    ReplyDelete