Thursday, August 17, 2017

ඇයට [ඔහුට] ලැගුම් දෙන්න - ඔබේ කැදැල්ලේ


වෙනදා බස් එකට ගොඩ උනාම නිකං කොත්තු කඩේකට ගොඩ උනා වගේ. කන පැලෙන සද්දෙන් අපිට බලෙන් අස්සවන අදෝනා - සමහරු නම් කියන්නේ ඒවා නව රැල්ලේ ගී කියලා ඒත් මට නම් හට්ටි මුට්ටි පෙරලගෙන ගේ ඇතුලේ රණ්ඩුවක් යනකොට පොඩි එවුන් විලාප තියන ස්වභාවයකට වඩා ලොකු වෙනසක් සින්දු වල දැනෙන්නේ නෑ- වෙනුවට අද ඇහුනේ විදින්ඩ පුළුවන් ගීතයක්. නන්දා මාලිනී ගේ සුළං කපොල්ලේ...ඔබ අහල තියනවද ඒක? ඔන්න මතක් කරගන්ඩත් එක්ක මුල් පද ටික...

සුළං කපොල්ලේ - තැනූ කැදැල්ලේ

කෑලි කැඩී බීදී වැටේ - නිල්   කඳුරැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය - පුංචි කිරිල්ලී

දැන් ඔබ ළග සිටී රුවක් - විලස නොසෙල්ලී

මගේ මතකය දුවලා ගියේ මන්නාරමට. මීට අවුරුදු දෙක තුනකට කලින් රාජකාරී කටයුත්තකට මන්නාරමේ ධීවර ගම්මානෙකට යන්ඩ උනා මට. ගමනේ අරමුණ තමයි යුද්ධය හින්දා අනාථ වෙච්ච වැන්දඹු කාන්තාවෝ ටිකක් එක්කහු වෙලා ගමේ  පිහිටුවාගෙන හිටපු සමිතියක් එක්ක රජයේ ආයතනයක් කර ගෙන ගිය වැඩසටහනක ප්රගතිය නිරීක්ෂණය. ඒත් එතන හිටපු එක සාමාජිකාවක ගේ කතාව අපේ කණ්ඩායමේ කාගේත් හිත කම්පනය කරන්ඩ සමත් උනා.


අපි කියමු ඇගේ නම ශ්රීමනී කියලා. ශ්රීමනී දෙමල කතෝලික පවුලක ඉපදුනේ අවුරුදු 40 කට විතර ඉස්සර. මන්නාරම වෙලා ගත්තු යුද්දය දුප්පත් තරුණියක් විදිහට ඇයට විකල්ප දෙකක් දීල තිබුනා. එක L.T.T.E. සංවිධනයට බැදීම. දෙක විවාහ වීම. තුවක්කුවට තිබුණු බය හින්දා, ලේ දකින්ඩ තිබුණු අප්පිරියාව හින්දා ශ්රීමනී ගේ දෙමාපියෝ කසාදයක් කරලා දෙනවා ඇයට. දරුවෝ තුන් දෙනෙක් බිහි කලාට පසු සැමියා ඇයව තනි කරඅතුරුදහන්’ වෙනවා

අතරේ යුද්දය හින්දා ශ්රීමනීලට තමුන්ගේ ගම අත් ඇරලා අනාථ කදවුරකට යන්ඩ වෙනවා. අනාථ කදවුරු කියන්නේ පොඩි ළමයි තුන් දෙනෙක් එක්ක ජීවත් වෙන්ඩ ලේසි තැනක් නෙවෙයි. හින්දා කදවුරේදීම ශ්රීමනී දෙවෙනි වතාවටත් කසාදා බදිනවා. තවත් දරුවෙක් ශ්රීමනීගේ කුසෙන් මෙලොව එලිය දකිද්දී 2004 සුනාමිය එනවා. ඒක ආපහු යන්නේ ශ්රීමනීගේ සැමියාවත් ඇරගෙන. ශ්රීමනී අඩපු සද්දේ මන්නාරම් මුහුදු රළින් යටපත් වෙනවා.

ඊට පස්සේ   ළමයි හතර දෙනෙක් එක්ක ජීවත් වෙන්ඩ උදවු කරන්නේ ශ්රීමනීගේ දෙමව්පියෝ. අයගේ උදව්වත් එක්ක කාලය ගෙවිලා යනවා. යුද්දේ ඉවරේ වෙනවා. අනාත කදවුරෙන් ගමට ගියත් දකින්න පුළුවන් වෙන්නේ නටබුන් වෙච්ච ගෙයක් විතරයි. ශ්රීමනීටයි, ළමයින්ටයි උදවු කරනවා තියා තමුන්ගේ ජීවිතේ රැක ගන්ඩවත් දෙමවුපියන්ට අමාරු වෙන බව දැන ගත්තු ශ්රීමනී ජීවිතේ තවත් තීරණයක් ගන්නවා. මුස්ලිම් ජාතිකයෙක් එක්ක තුන් වෙනි වරටත් විවාහ වෙන්න. මේ දෙන්නට දාව තවත් දරුවෝ දෙන්නෙක් බිහි වෙද්දී අර මනුස්සයා ශ්රීමනීව අතරමං කරලා පැනලා යනවා.

ශ්‍රීමනී දැන් පදිංචි වෙලා ඉන්නේ ධීවර ගමක. ඇය ජීවිතෙන් පලා යන්නේ නෑ. ලොකු පුතාට දැන් අවුරුදු විස්සක් විතර උනත් ශ්රීමනීට බයයි පුතාව රස්සාවක් කරන්ඩ කොළඹ යවන්ඩ. යුද්ධය, සුනාමිය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ කුරිරු කමුත් ඇගේ හදවත තලලා ඉවරයි. තමුන්ට තියන එකම සම්පත් වෙච්ච දරුවන් මේ අවාසනාවන්ත ඉරණම් වලට ගොදුරු කරන්න ඇගේ හිත ඉඩ දෙන්නේ නෑ. කොයි අම්මාද කැමති තමුන්ගේ දරුවන් දුක් විදිනවා  බලන්ඩ?

ඉතින් ලෝකේ මිනිස්සු කියන කතා සතේකට මායිම් කරන්නේ නැතුව ශ්‍රීමනී 'මාළු රස්සාවට' බහිනවා. නොගැඹුරු මන්නාරම් මුහුදේ කරවටක් යනකල් දුරට ගිහින්, දැල් එළලා, මාළු අල්ලාගෙන එන ශ්‍රීමනී මට මැවිලා පේනවා  තවමත්. ඇය ගෙදර එනකල් දරුවෝ බලා ගෙන ඉන්නවා. 

සුළං කපොලු තුනක හදපු කූඩු තුනක් කැඩිලා ගිය ශ්රීමනී ගේ කතාව කලාතුරකින් අහන්ඩ ලැබෙන එකක් උනාට සුළං කපොලු වල හදපු කූඩු කැඩිච්ච කිරිල්ලියෝ සහ කුරුල්ලෝ ගැන කථා ලංකාවේ අපිට අමුත්තක් නෙවෙයි. අවුරුදු තිහක යුද්දය, සුනාමිය හා අනෙක් ස්වභාවික අනතුරු, ඉහල සිය දිවි නසා ගැනීම් අනුපාතය, මත් ද්රව් උවදුර වගේ එකී නොකී බොහෝ හේතු හින්දා තනි උන පවුල් කීයක් නම් ලංකාවේ ඇද්ද? මගේ දැනීමේ හැටියට මුළු පවුල් සංඛ්යාවෙන් සියයට විස්සක් වත් 'තනිකඩ පවුල්' එහෙම නැත්නම් අම්මා හෝ තාත්තා විතරක් ඉන්න පවුල්. දරුවෝ නැතුව දික්කසාද වෙලා හරි වැන්දඹු වෙලා හරි ඉන්න ගානත් මේකට එකතු කරන්ඩ වෙන්නේ ලංකාවේ විවාහ වෙළදපොල තුල දික්කසාද හෝ වැන්දඹු වෙච්ච කාන්තාවකට හිමිවෙන වටිනාකම ඉතා සුළු හින්දා.

මේ වට පිටාව ඇතුලෙදි සමාජ අපචාර ක්රියා කියලා හඳුන්වන දේවල් වලට තෝතැන්නක් හැදෙනවා. ‘අවලමේ යනවා’ කියලා සමාජයෙන් චෝදනා ලබන මේ මිනිස්සු දිහා මානුෂිකව බලන්න අපිට බැරිද? අය තනිකඩ වෙලා ඉන්නේ අයගේ වැරැද්දෙන්ම නෙවෙයි. හොඳයි අයගේ වැරැද්දම කියලා කියමුකෝ..ඒත් එක පාරක් වැරැද්දක් උනා කියලා ජීවිතේම වන්දි ගෙවන්ඩ ඕනද? අය වැරදියි කියලා තීරණය කලේ කවුද? සමහරවිට චෝදනා කරන්නෙත් තීරණය දෙන්නෙත් එකම සමාජය. සමහරවිට අම්මා තාත්තගේ වැරදි වලට දුවලා පුතාලා වන්දි ගෙවන්නේ ඇයි?

යොදුන් ගණන් ඔබමැ සොයා- සියුමැල්ලී

පිළිගනු කොහි යන්නද - නැවත ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත - සිතිජ වළල්ලේ

කඳුල පමණි ඇයට උරුම - දවස මුළුල්ලේ

යුද්ධය කියන්නේ අසාමාන් තත්වයක් මිනිස් සමාජයට. මං හිතන්නේ සියදිවි නසා ගැනීම් වගේ දේවලුත් වෙන්නේ අසාමාන්යතා  හින්දා. ඉතිං අසාමාන් ප්රශ්නෙකට සාමාන් උත්තර හොයන එක සාධාරණ නෑ. අසාමාන් ප්රශ්න වලට තියෙන්නේ අසාමාන් උත්තර... ප්රශ්නේ විසදන්ඩ ඕන නම්. ප්රශ්නේ මග අරින්ඩ ඕන නම් අපිට තර්ක කර කර ඉන්ඩ පුළුවන්. සමාජයක් විදිහට අපි තීරණය කරන්ඩ ඕන අපි මේ 'තනිවීමේ ප්රශ්නේ' විසදනවද නැත්නම් මග අරිනවද කියලා.

කොහොමද ප්රශ්නේ විසදන්නේ?

උත්තරේ පැහැදිලියි. 'තනිකම' නැති කිරීමෙන්. කියන්නේ සම්මත විදිහට නම් නැවත විවාහයකට පහසුකම් සැලසීමෙන්. අසම්මත විධි ගැන මං කියන්ඩ ඕන නෑ අමුතුවෙන් අරං බලන්ඩකෝ පත්තරයක්! නැවත විවාහයකට පහසුකම් සැලසීම කියලා කියන කොට අවඥාවෙන් හිනා වෙන්ඩ එපා. සමහර විට එකට නීතිමය භාධා තියනවා වෙන්ඩ පුළුවන්. සමහර විට සමාජමය භාධා තියෙන්ඩ පුළුවන්. උදාහරණයක් විදිහට මං තව කතාවක් කියන්නම් රණවිරුවෙකුගේ බිරිඳක් ගැන.

ඇගේ සැමියා හමුදාවේ නිල දරුවෙක්. අවාසනාවන්ත විදිහට යුද්ධයේදී ඔහු ජීවිතය පූජා කරනවා. ඇය මේ ලෝකේ තනිවෙනවා දරුවෝ දෙන්නෙකුත් එක්ක. මේ තනිකමට ඇය උත්තර හොයා ගන්නේ 'අසම්මත ප්රේමයකින්'. පෙම්වතා එක්ක කසාද බදින්ඩ කැමැත්තක් තිබුනත් ඇය එසේ නොකරන්නේ තමාට තවමත් ලැබෙන රණවිරු විශ්රාම වැටුප නොලැබී යනු ඇතැයි බියෙන්. මම දවසක් රණ විරු සේවා අධිකාරියේ වැඩකරන මිතුරෙකුගෙන් මේ ගැන ඇහුවා. ඔහුට අනුව නම් දැන් එවැනි නීතියක් නෑ. ඒත් ඇයට අනුව එහෙම නීතියක් තියනවා. සමහර විට මේක පොඩි වැරදි සන්නිවේදනයක් වෙන්ඩ පුළුවන් ඒත් සමාජයේ අසම්මත සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඇය දරන අවදානම තක්සේරු කරන්ඩ පුළුවන් කාටද? ඇගේ දරුවන්ට සමාජයෙන් කොන් වීමක් නොවෙයි කියලා හිතන්නේ කොහොමද?

මට කියන්ඩ ඕන උනේ අර මුලින් කියපු 'අසාමාන් උත්තරය' කීප පැත්තකින්ම හොයා ගන්ඩ ඕන දෙයක් කියලයි. නීතිමය පැත්තෙන් වගේම සමාජ විද්යාත්මක හා මනෝ විද්යාත්මක ඇහැකිනුත් මේ ගැන බලන්ඩ ඕන කියලයි මට හිතෙන්නේ.
සෞන්දර්යාත්මකව දිහා බලලා ගන්ඩ පුළුවන් 'අසාමාන් උත්තරයක්' ගීතයේ අවසාන කොටසේ කිය වෙනවා

ඔබ තනිකඩ කුරුළු රජෙකි - සිටින නිදැල්ලේ

ඇයට ලැගුම් දෙන්න සබද - ඔබේ කැදැල්ලේ!!!


6 comments:

  1. මේ ප්‍රශ්ණ හැමදාමත් තියෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපේ සමාජය මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියලවත් පිලි ගත්තොත් ඒක විසදගන්ඩ උදව්වක් වෙයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  2. Still remember her story.How is she doing now .

    ReplyDelete
  3. මේකත් මම කතාවකට අමුණන්න හිතාගෙන හිටපු සින්දුවක්. දැන් වැඩක් නැහැ වගේ..

    ගොඩක් ඒ වගේ පළාත්වල බිරිඳ, දරුවන් අතහැර 'පලා යන' පිරිමින් බොහොම වැඩියි කියලයි මමත් අහලා තියෙන්නේ. දරුවන්ගේ අම්මලා කොහොමහරි කරගෙන යනවා. ඒක සමහර වෙලාවට බලාගෙන ඉන්න බැරි තරම් දුක් කන්දරාවක්. එහෙම පළාතකට ගිහින් සදාචාරේ, නිතිය සහ සභ්‍යත්වය කතාකරන්න යන මිනිස්සුත් මම දැකලා තියෙනවා.

    යුද්ධය නිසා/සුනාමිය නිසා උනේ ජිවිත නැතිවෙච්ච එක විතරයි කියලයි ගොඩක් දෙනා දන්නේ. ඉතුරු වෙච්ච මිනිස්සුන්ගේ ජිවිත ගැන බලාගන්න සැලසුමක් නැහැ. ඒ ඇතිම් මේ වගේ සමිති ලොකු කාර්යභාරයක් කරනවා මමත් අහල, දැකල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලිඛිතා...සමහරවිට හිතෙනවා ජීවිතේ නැති වීම එක්තරා ආකාරයක වාසනාවක් කියලා ජීවත් වෙලා ඉන්න මිනිස්සු ජීවිතේ පවත්වාගෙන යන්ඩ දරන උත්සාහය දැක්කහම. මේ සින්දුවට ඔබේ අර්ථකතනයත් දන ගන්න කැමතියි. ඒ හින්දා ලියන්න.

      Delete