අපේ ගම පොඩි ගමක්. එහෙම උනහම වාසි වගේම අවාසිත් තියනවා. වාසි තමයි ගමේ ඉන්න අය අතරේ තියන බැදීම වැඩිවීම. අවාසියක් තමයි හැම දේකටම ලග තියන ලොකු ගං වලට හරි පොඩි ගං වලට හරි ජැක් ගහන්ඩ වීම. එක්කෝ අපි උන්ට ජැක ගහනවා එහෙම නැත්නම් උන් අපිට!
මරණාධාර සමිතිය නැගෙනහිරින් තියන ලොකු ගමක් එක්ක එක්සත්! සණස සමිතිය බටහිරෙන් තියන පොඩි ගමක් එක්ක ඒකාබද්ධ!! දායක සභාවත් අර මුලින් කියපු ලොකු ගමත් එක්ක හවුලේ!!! පාසල් සංවර්ධන සමිතියත්
එහෙමමයි!!!! සමෘද්ධි සමිතිය උතුරෙන් තියන පොඩි ගමක් එක්ක
ජොයින්ට්! X 5. ග්රාම සේවා වසමත් උන් එක්කමයි ! X 6.
මේ විදිහට දිගටම ජැක් ගහමින් ජීවත් වීම ටිකක් අසික්කිත, පජාති වැඩක් බව අපි කාටත් දැනෙන්ඩ පටන් අරන් තිබුනේ කාලෙක ඉදලා. පොඩි ගමක
ඉපදුනා කියලා… ජීවත් වෙනවා කියලා අපිට නැද්ද ආත්ම ගරුත්වයක්? ලොකු ගම්වල උන්ට විතරද ඒ කියපු එක තියෙන්නේ? මේ තත්වෙන් ගොඩ එන්ඩ අපි හුග දෙනෙකුට ඕන උනා. අපිට වෙනස් කරන්ඩ පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද කියලා ගමේ 'තරුණ කැළ' සාකච්චා කලේ හන්දියේ බෝක්කුව උඩදී එක හවස් යාමයක.
“ඉස්කෝලේ අපේ ගමට ගේන්ඩ බෑනේ!?” උක්කුවා ඇහුවේ ප්රශ්නයක්ද
නැත්නම් ශෝකය පල කිරීමක්ද කියලා මට හිතා ගන්ඩ බැරි උනා.
පන්සලක් පිහිටුවා ගන්ඩත් අපේ ගම පොඩි වැඩියි. හාමුදුරුවන්ට මාසේ පුරා දානේ ටික දෙන්ඩත් ගෙවල් ඇති නැති ගානනේ...රතු බණ්ඩයිය කිව්වේ දුකෙන්.
“සණසක් හදන්ඩ පුළුවන් උනාට කීදෙනෙක් එයිද ඒකට? හුගක් අය දැන් තියන සණසේ සාමාජිකයෝ… ඉතින් කා ගාවද වැඩිපුර සල්ලි තියෙන්නේ තව
බැංකුවක දාන්ඩ?” නිමල් අයියා කිව්වා.
“මරණාධාර සමිතියක් නම් පිහිටුවන්ඩ පුළුවන්. දැන් අපි එහා ගමේ සමිතියත් එක්ක ඉන්න හින්දා හැම මල ගෙදරටම රුපියල් සීය ගානේ දෙනවා...මාසෙකට දෙන පණහට අමතරව...උන්ගේ ගමේ මැරෙනවා වැඩියි...මාසෙකට තුනක්
හතරක් වල කජ්ජ ගහනවා. උන් වල කජ්ජ ගහන්ඩ… අපි සල්ලි දෙන්ඩ….
මේක යකාගේ ආණ්ඩුවක්!!” රතුබණ්ඩයියාට හදිස්සියේම මතක් උනා. එහා
ගමේ උන් වැඩි පුර මැරෙන එකටත් වග කියන්ඩ ඕන ආණ්ඩුව!!! හා… නැද්ද?
“ඒකෙ හොදක් තියනවා...අපේ ගමේ අවුරුද්දකටම මැරෙන්නේ දෙන්නෙක්
නැත්නං තුන් දෙනෙක්..එතකොට දැන් දෙන සල්ලි ගානම එක්කහු කලොත්
මල ගෙදර වැඩ හොදට කරන්ඩ පුළුවන් කාටවත් කරදරයක් නොවී… අනික්
අතට සමිතියෙන් දෙන දේවල් දැන් දෙන ගානටම තියාගත්තොත් එක
ගෙදරකින් එක්කහු කරන්ඩ වෙන්නේ පොඩි ගානක්”. අලුත් මරණාධාර
සමිතිය පිහිටු වීමේ ආර්ථික වාසි පැහැදිලි කලේ කඩේ මාමා. එයා හරි උනන්දුයිසල්ලි ඉතුරු කර ගන්ඩ.
“ඔය කිව්වට ඕක ලේසි වැඩක් නෙවෙයි…” අසුබ සුබේ කට ඇරියා. මිනිහගේ
නම සුභරත්න හැබැයි කියන්නේම අසුභ කතා. එකයි අසුබ සුබේ කියලා නම වැටිලා තියෙන්නේ.
“කව්ද නිලධාරී මණ්ඩලේට පත් කරන්නේ? අනික හඩ් එකක් (මල ගෙවල් වලට එන කට්ටියට ඉඳ ගන්ඩ හදන ආවරණය නැත්නම් හට් එකට තමයි ගමේ හුගක් අය හඩ් එක කියන්නේ) පුටු ටිකක් ගන්ඩම හුගක් සල්ලි එපෑය”. සුබේ කියන්නේ බොරුවක් ම නොවෙන බව අපි කාට කාටත් තේරුං ගියා.
“අපි පියරත්න මංත්රී තුමාට කියමු. අපි මිනිහා වෙනුවෙන් චන්ද ඉල්ලන්ඩ
කොච්චර ඇවිදලා තියනවද එහෙව් එකේ අපේ ගම වෙනුවෙන් මෙහෙම උදව්වක් වත් ගන්ඩ බැරි නම් මොකටද?” ඒ රතුබණ්ඩයියා.
මනුස්සයාට මතක් වෙන්නෙම කොළ පාට පක්සේ අය.
“ඇයි සියඹලාගොඩ
මන්ත්‍රී තුමා! අපේ හැම දේකටම එන මනුස්සයානේ...අඩු ගානේ පුටු ටිකක් වත් ඉල්ලගන්ඩ
බැරි වෙන එකක් නෑ...”නිල් පාට පක්සේ
වෙනුවෙන් ඒ පක්සේ අපේ ගමේ මාධ්‍ය ප්‍රකාශක සරත් අයියාත් මරණාධාර සමිතියට ඒ
පක්සේ දායකත්වය දැක්වූවා.
“දැන් එහෙනම්
නිලධාරි මණ්ඩලේ පත් කර ගම්මු” අසුබ සුබේ ආයෙත් නිලධාරී මණ්ඩලේ ගැන කතාව.
මට වැඩිය
ඇල්ලුවේ නෑ මිනිහගේ උනන්දුව. ඒ උනත් කොහොම හරි හැමෝගෙම කැමැත්තෙන් පල්ලෙහා ගෙදර
මාමා අපේ සමිතියේ සභාපති විදිහටත්, සුබෙයා ලේකම් විදිහටත්, කඩේ මාමා
භාණ්ඩාගාරික විදිහටත් පත් උනා. එදා බෝක්කුව උඩ හිටි අනෙක් හැමෝටම එක එක තනතුරු හම්බ උනා.
මම කාරක සභාවේ සාමාජික.
අනේ වරදක්
කියන්නඩ
බෑ මුළු ගම ම
සමිතිය වෙනුවෙන් පුදුම උනන්දුවකින් බැහැල වැඩ... එකම එක කාරක සභිකයෙක් ඇරුනහම. ඌට රස්සාව
හින්දා ගමේ යන්ඩ පුළුවන් උනේ සති දෙක තුනකට පාරක් විතරයි.
ඒ ගිය වෙලාවලදී
දැන ගන්ඩ හම්බ උනා සමිතිය ලියාපදිංචි කර ගන්ඩ පුළුවන් උනා කියලා. තව ටික දවසකින්
ආරංචිය ආවා අර මුලින් කියපු දේශපාලකයෝ දෙන්නම පුටු විසිපහ ගානේ දුන්න කියලා. මේක
ආරංචි වෙච්ච තවත් මන්ත්‍රී කෙනෙක්ද මන්ත්‍රී වෙන්ඩ දගලන එකෙක්ද කොහෙද 'හඩ්' එකකුත් දීලා.
ඔය අතරේ දවසක
මට කෝල් එකක් ආවා රතුබණ්ඩයියා ගෙන්. “මල්ලි සමිතියේ
පොඩි ප්‍රශ්නයක්. ඔයා මේ සතියේ ගෙදර එනවද?”
“එන්ඩ තමයි හිතා
ගෙන ඉන්නේ...ඇයි අයියා මොකද්ද ප්‍රශ්නේ?”
“නෑ… මල්ලි සමිතියට
පුටු වගයක් එහෙම හම්බ උනානේ...”
“ඔව් ඉතිං?”
“එව්වා කොහෙද
මල්ලි තියා ගන්නේ?
අපිට සමිති
සාලාවක් වත් බන මඩුවක් වත් වෙන කිසිම පොදු තැනක් වත් නෑනේ…”
“හ්ම්...ඒකනම්
ඇත්ත. දැන් කොහෙද ඔය බඩු ටික තියෙන්නේ...”
“ටිකක් අපේ ගෙදර
ටිකක් පල්ලෙහා ගෙදර තව ටිකක් සුබේ ලගේ ගෙදර...”
“ඉතින් එහෙමම
තියන එක ප්‍රශ්නයක්ද?”
“මට නම් ප්‍රශ්නයක්
නෑ මල්ලි ඒත් මේ අපේ ගෙදර එක්කෙනා...."
මට වැඩේ
තේරුනා. අපි සමිති පිහිටෙව්වට ගෙවල් වල මිනිස්සු පලිද? ඔය බඩු ටික
තියනවා ඇත්තේ ගෙදර එක කාමරේක. කාමර දෙකක් තියන ගෙදර එක කාමරේක බඩු ගොඩ ගහපුවම
මිනිස්සු ඉන්නේ එළියෙද?
සුබේ ලගේ
ගෙදරත් තියෙන්නේ ඉස්තෝප්පුවයි සාලෙයි එක කාමරේකුයි. ඌටත් බැනුං කප්පරක් ඇති.
“දැන් ඉතින්
මොකක්ද කරන්ඩ හිතා ගෙන ඉන්නේ?”
“අපි සමිති
සාලාවක් හදන්ඩ ඕන...”
“බැරි උනොත්...”
“මම සමිතියෙන්
අහක් වෙනවා. කෙහෙල්මල් සමිතියක් හින්ද ගෙදර කනක් ඇහිලා ඉන්ඩ බැරි වෙලයි දැන්
තියෙන්නේ...”
ප්‍රශ්නේ
බරපතලයි.
කව්රු නිල තල
වල හිටියත් සමිතිය දුවවන්නේ රතුබණ්ඩයියා. එහෙව් මනුස්සයා නැති සමිතියක් ගැන හිතා
ගන්ඩත් බෑ.
කොහොමින්
කොහොමින් හරි මම ඒ සතියේ ගෙදර යනකොට සමිති ශාලාවක් හදන්ඩ හැමෝම එකග වෙලා ඉවරයි. ඒ
විතරක් යැ ගමේ දාන පතියෙක් ඉඩං කෑල්ලකුත් දෙන්ඩ කැමති වෙලා සාලාව හදන්ඩ. නිලධාරී
මන්ඩලේටයි කාරක සභාවටයි තිබුනේ යෝජනාව සම්මත කරන්ඩ විතරයි. එත් එක්කම ගොඩනැගිල්ල
හදන්ඩ සල්ලි හොයා ගන්ඩ පොඩි පොඩි වැඩ කීපයක්ම යෝජනා උනා. ඒ ඔක්කොම සම්මත උනේ ඒ
කිසිම වැඩකින් ගොඩනැගිල්ලක් හදා ගන්ඩ තරම් සල්ලි හොයා ගන්ඩ බැරි හින්දා.
සල්පිලක්...නාට්‍ය සංදර්ශනයක් වගේම සර්කස් කාරයෙක් ගමට ගෙන්නන්ඩත් කට්ටිය එකග උනා.
අපේ ගමේ ගන්න තීන්දු 99%ක්ම තීන්දු
විතරයි. ක්‍රියාත්මක නෑ. ඉතින් මං හිතුවා මේ කියන දේවල් වලින් එකක්වත් වෙන එකක් නෑ
කියලා ඇත්තටම.
හැබැයි ආයෙත්
මං වැරදියි කියලා තේරුනේ තවත් සති තුනකට විතර පස්සේ ගමට ගියාම. "සැන්ඩෝ ඛාන්
ගේ මහා සර්කස් සංදර්ශනය සහ මල් බඳුන් වෙන්දේසිය" කියලා පෝස්ටර්
ගම පුරාමත් ගම වටේමත් ගම හරහා යන හැම බස් එකකමත් ගහලා තිබුනා. සැන්ඩෝ ඛාන් කියන්නේ
ඔය හලාවත පැත්තේ කෙනෙක්ලු.
රතුබණ්ඩයියා
තමයි සර්කස් කාරයාව වැඩේට සම්බන්ධ කරලා තියෙන්නේ. ගමේ කවුරුවත් මිනිහගේ සර්කස්
දැකලා නැති උනාට හැමෝම කිව්වේ පොර සුපිරි චරිතයක් කියලා. එයාගේ ගාණ රුපියල් විසි
දාහක් උනත් එක අල්ලපු ගමේ මුදලාලි කෙනෙක් සුටුස් ගාල ඉල්ලපු පරක්කුවෙන් දීලා. ඒ මේ
වැඩේ ගැන ලොකු ප්‍රචාරයක් අහල ගං හතේම ගිහින් තිබ්බ හින්දා. සම්පූර්ණ අනුග්‍රහයකුත්
හම්බ වෙච්ච හින්දා ටිකට් වලින් හම්බ වෙන සල්ලි ඔක්කොම අපේ සමිතියට.
ඕකෙං මේකෙං ඒ
අසිරිමත් දවස උදා උනා. මුළු
ගමම කඩියෝ වගේ වැඩ. කට්ටියක් සර්කස් එක පෙන්නන ටකරන් වලින් වට කරපු මඩුවක් හදනවා.
කට්ටියක් සංග්‍රහ කටයුතු වෙනුවෙන් ලෑස්ති වෙනවා. කට්ටියක් සෙනග හසුරුවන්ඩ කොහු ලනු
වලින් පෝලිං හදනවා.
කට්ටියක් සර්කස් එක බලන්ඩ ඉස්සරහම පේලිය අල්ලගන්ඩ උදේ ඉදන් ඉඳ ගෙන ඉන්නවා බුලත්
විටක් හෙම හප හප. මඩුව ඇතුලට යන්ඩ ටිකට් එකක් විස්සයි. කොහොම හරි හවස දෙක වෙනකොට
සර්කස් මඩුව ඇගිල්ලක් ගහන්ඩ බැරි තරමට පිරිලා.
සැන්ඩෝ ඛාන්
ආවේ එතකොට! සැන්ඩෝ කිව්වට මිනිහා හුඹහෙන් ඇදපු ගැරඩියා වගේ ඇදිලා ගිය පොඩි
චරිතයක්. ඒත් ඇග පතින් පොඩි උනාට වැඩ වලින් ලොකු බව පෙනුනේ සර්කස් එකේ පලවෙනි
අංගයේදී. ඒ ඇණ ගහපු ලෑල්ලක නිදා ගෙන ඉන්දැද්දී බඩ උඩ ගලක් තියලා කුළු ගෙඩියෙන්
ගැහීම. බලන්ඩ ආපු මිනිස්සුන්ට ඊට වැඩිය දෙයක් නෑ. ෆුහ්.....එහෙම අප්පුඩි සද්දයක්
මං ජීවිතේටම අහලා නෑ.. ඊගාවට බඩ උඩින් ට්‍රැක්ටර් එකක් පැදවීම...මගේ අම්මෝ මේ
මිනිහ මැරෙන්ඩ නේද හදන්නේ කියලා ගමේ කට්ටිය පුදුමෙන් බලා ගෙන ඉන්දැද්දී මහා ට්‍රැක්ටරේ
රෝදයක් මිනිහගේ ඇග උඩින් ගියා. අප්පුඩි සද්දෙට මගේ කං බීරි උනේ නැතුවා විතරයි.
ඔහොම සෙල්ලං
තුන හතරකින් පස්සේ විවේක කාලය...සැන්ඩෝ ට විවේකය උනාට අපේ වැඩේට විවේකයක් නෑ. මල්
බදුන් වෙන්දේසිය පටන් ගත්තේ එතකොට. වෙන්දේසියේ වැඩ වලට රතුබණ්ඩයියා එතනම ඉන්ඩ ඕන
හින්දා සැන්ඩෝ ට සංග්‍රහ කිරිල්ල රණසිංහ අයියට පැවරුණා. එයා ගේ ගෙදර තියෙන්නෙත්
සර්කස් මඩුව ළගමනේ. ඉතින් වෙන්දේසිය භාගයක් යනකොට සැන්ඩෝට අවස්තාව හම්බ වෙනවා
අන්තිම පුදුමාකාර සර්කස් එකට. ඒ තමයි පොලොව යට පැය භාගයක් වැළලිලා ඉදලා තමන්
විහිම්ම ගොඩට ඒම!!
අඩි හතරක්
ගැඹුර වලක සැන්ඩෝ වැලලුවා. ඊට පස්සේ ලෑලි තට්ටුවක් දාලා ඒ උඩින් පස් දැම්මා වල
පිරෙන්ඩම. ලෑලි
තට්ටුව හින්දා
සැන්ඩෝ ගේ ඇගට පස් වැටෙන්නේ නෑ. හැබැයි මේක හරි බයානක වැඩක් බව හැමෝටම
තේරුණා....වල වහලා විනාඩි පහකින් ආපහු වෙන්දේසිය පටන් ගත්තා. සැන්ඩෝ උඩට එනකොට
නිවේදකයා ඒ ගැන වර්ණනා කරයි එතකල් වෙන්දේසියේ සල්ලි ගැරීම...!
විනාඩි විස්සක්
ගියා...විසි පහක් ගියා...වෙන්දේසිය නැගලම යනවා. ඒක බලා ගෙන ඉන්න මිනිස්සුන්ට දැන්
මතකත් නෑ වගේ සැන්ඩෝ ගැන. දැන් විනාඩි තිහයි… වල හෙල්ලෙන බවක් වත් පෙන්නේ නෑ.
“ඌට මොකවත්
උනාවද්ද?”
රතුබණ්ඩයියා
එහෙම ඇහුවේ වැඩේ වගකීම තමන් ගේ අතේ බව මතක් වෙලා.
“නෑ..මිනිහා හොද
වැඩ කාරයා”
එහෙම කිව්වේ
රණසිංහ අයියා.
තව විනාඩි පහක්
ගත උනා. කිසි හැල හොල්මනක් නෑ සැන්ඩෝ ගෙන්.
“කෝ මිනිහගේ
ගෝලයා?”
රතුබණ්ඩයියා
ආයෙත් ඇහුවේ ටිකක් බය
වෙලාත් වගේ.
“මිනිහට ටිකක්
වැඩි උනා...මම ගෙදර ගිහින් දැම්මා ටිකක් නිදා ගන්ඩ. දෙහි එකකුත් බොන්ඩ දුන්නා..”.රණසිංහ අයියා
ගෝලයාට වෙච්ච දේ පැහැදිලි කරා.
“කව්ද ඌට බොන්ඩ
දුන්නේ?”
“අර විවේක
කාලේදී මං ටිකක් සැලකුවා...හැබැයි මං හිතුවේ නෑ වැඩිවෙයි කියලා...”
“උඹලාටත් තැනක්
නොතැනක් නෑනේ බෝතලයක් දැක්කහම...ගිහින් එක්ක වරෙන් ඌ...සන්ඩෝ ට මොකක් වෙලාද කියලා
ඌ දන්නවා ඇතිනේ...මේක කුතුහලේ වැඩි කරන්ඩ කරන වැඩක්ද දන්නෙත් නෑනේ...!”
විනාඩි පහකින්
විතර රණසිංහ අයිය ආපහු ආවා. “මිනිහට නැගිට ගන්ඩ බෑ අයියා. මට මේ දැන් මතක් උනේ...”
“මොකද්ද..?”
“ගෝලයා බිව්වේ
බාගයයි අර සැන්ඩෝ කාරයා තුන් කාලක්ම ඇදලා ඇරියනේ හොද බඩු ටික කියලා...”
ඊලග විනාඩියේදී
රතුබණ්ඩයියා කියපු කුණු හරුප වැල රණසිංහ අයියට ජීවිතේ තියන කල් අමතක වෙන්නේ
නැතිවෙයි. ඒ සද්දෙට මල් වෙන්දෙසියත් නැවතුනා. අම්මලා ළමයින්ගේ කන් වැහුවා. ගෑණු
ළමයි ලජ්ජාවෙන් ඇඹරෙන්ඩ
පටන් ගත්තා. වැඩේ තවත් දුර
දිග ගියේ කට්ටියම වෙන්දේසිය මෙහෙයවමින් හිටපු විරිදු කාරයා වත් පෙරලගෙන සැන්ඩෝ වල
දාලා හිටපු වල හාරන්ඩ පටන් ගත්ත හින්දා. රතුබණ්ඩයියාගේ කුණු හරුප තවම ඉවර නෑ ...
විනාඩි තුන
හතරකින් වල ඇතුලේ 'බඩු වැඩි වෙලා' කර්පට් වෙලා
හිටපු සැන්ඩෝ ව ගොඩට ගත්තා. ඒත් ඒ වෙනකොට අමතක නොවෙන හූ සද්දයක් සර්කස් මඩුව පුරාම
පැතිරෙමින් තිබුනේ කුණුහරුප වලටත්, සැන්ඩෝ ගේ බේබදු කමටත් උපහාරයක් විදිහට. අසුබ සුබේ
කිව්වේ රාහු කාලේ අත ඇරලා වැඩේ පටන් නොගත්ත හින්දා තමයි හූ හඩ මැද වැඩේ නවත්තන්ඩ
උනේ කියලා.
ඒ කොහොම උනත්
මේ සිද්ධියට පස්සේ සමිතියේ නිලධාරීන් සහ කාරක සභාව ඉල්ලා අස් උනා. ‘අපේ’ කාලේ හොයපු
සල්ලි වලින් සමිති සාලාව බාගෙට ගොඩ නැගුවා. එත් සර්කස් සන්දර්ශනෙන් අවුරුදු දහයක්
ගත වෙලත් ඒ අවසාන නොකරපු ගොඩ නැගිල්ල එහෙමම තියනවා. මට ලංකාවේ කොහේ හරි වැඩ ඉවර නොකරපු
සමිති සාලාවක් වගේ එකක් දකින කොට සැන්ඩෝ වත් රණසිංහ අයියාවත් මතක් වෙනවා. හැබැයි
අපි පටන් ගත්තු මරණාධාර සමිතිය නම් ඉතාම හොදට ක්‍රියාත්මකයි!!.
ආයේ පාරක් සන්ඩෝ හැරිස් ව ගෙන්නලා (ඉන්නවනම්)ඉතුරු සල්ලි ටික හොයල බිල්ඩිම ඉවර කරන්ඩ පුළුවන්නේ
ReplyDeleteසැන්ඩෝ ඛාන් ඉන්නවද දන්නේ නෑ! ඒ කොහොම උනත් උනන්දුවෙන් වැඩ කළා නම් සාලාවේ ඉතුරු ටික හදා ගන්ඩ තිබුනා. නැති උනේ උනන්දුවක් තියන නායකත්වයක්.
Deleteඑතෙකොට පුටු ටික ෙකාෙහද දන්නැ දැන් තියල ඇ්තේ?
ReplyDeleteඇත්තම කතාව පුටු ටික ගමේ එක එක ගෙදර!!!! ටකරන් තහඩු එක තැනක, පුටු ගෙවල් දෙක තුනක, පස්සේ කලෙක එකතු උන කෑම උයන ලොකු සාස්පාන් තව ගෙදරක.
Delete