Tuesday, August 22, 2017

ඇටබෝල මණ්ඩලේ රහස් සාකච්චාවක්


උදෑසන දහය පමණ වන විට කොළඹ හතේ ඇටබෝල සංගමේ මහා ගෙදර මේසයක් වටේ ලංකාවේ කප් ගහපු කට්ටඩියෝ විස්සක් විතර, ප්ලාස්ටික් සර්ජන්ස් ලා පහක් හයක්, දේශපාලකයෝ හතක් අටක් සහ බුකි කාරයෝ පනහක් හැටක් වාඩි වෙලා හිටියා.

"දන්නවනේ අපේ ඇට බෝල ටීම් එකට වෙලා තියන දේ!!" ලොකු මහත්තයා කතාව ඇරඹුවා.

"ඇයි අපි ඇෆ්ගනිස්තානෙටත් පරදිලාද?"

"තාම නෑ..ඒත් ළගදීම ඒකත් වෙනවා.."

"හතර විලි ලැජ්ජාවයි…." හුග දෙනෙක් කිව්වා.

"මෙතන තහනම් වචනෙ විලි ලැජ්ජාව.... එහෙම එකක් තිබුන නම් දැනටමත් කීප දෙනෙක් බඩ කපාගෙන මැරෙන්ඩ එපාය. තවම එහෙම වෙලා නෑ.... හැබැයි ප්රශ්නේ අපිට දැන ගන්ඩ හම්බ වෙලා තියනවා කොන්ගෝවයි, සුඩානෙයි, සෝමාලියාවයි ඇටබෝල ටීම් හදනවා කියලා."

"ඉතිං?"

"ඉතින් ඔය කට්ටිය කියන්නේ අපිට උන්ටත් පරදින්ඩ කියලද?"

"බෑ...බෑ..බෑ.. තත්වෙට පත්වෙන්ඩ බෑ." හැමෝම ඒකමතිකව උත්තර දුන්නා.

"අපි ගැන හිතුවා. හිතලා සැලසුම් හැදුවා. අපි ගාව තියනවා උත්තර පහක්. අපිට උදව් ඕන ඔය කට්ටියගෙන් හොඳම ක්‍රමය තොරගන්ඩ. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්ඩ. දන්නවනේ අපිට උදව් කරොත්, අපේ වැඩේ හරි ගියොත් ආය ඉතින් පරම්පරා හතක විතර ගොඩම තමා..."

අපි කැමතියි...අපි කැමතියි...කවුද අකමැති තමුන්ගෙ රටට උදවු කරන්ඩ නේ..?


හරි එහෙමනං පටන් ගම්මු.

කන්සල්ටන්සි කොම්පැනියකින් ආපු මහත්තයෙක් කතාව පටන් ගත්තා.

විසඳුම 1: ප්ලාස්ටික් සර්ජරි ක්රමය

"මේකෙදි වෙන්නේ අපිත් එක්ක සෙල්ලං කරන්ඩ එන පිටරට ටීම් වල උන් ටික කිඩ්නැප් කරනවා මුලින්ම. අපේ ගුස්ති සෝමේ තමයි වැඩේ බාරව ඉන්නේ. ඊට පස්සේ අපේ ප්ලාස්ටික් සර්ජන්ලට තමයි ලොකුම වැඩේ පැවරෙන්නේ. උන්ගේ ටීම් එකේ එවුන් විදිහට අපේ බජාර් එකේ සෙට් එකකගේ මූණු, අත පය වෙනස් කරනවා. මේ සෙට් එක පිට්ටනියට ගිහින් රග පානවා අනිත් ටීම් එක වගේ. අපේ කට්ටිය මැච් එක දින්නට පස්සේ පිට ටීම් එකේ ඇත්ත උන් ටික එලියට දානවා."

"ත් එතකොට උන් වෙච්ච දේ කියයි නේ..."එක ඩොක්ටර් කෙනෙක් කිවුවා.

"අම්බානකට පැරදිලා ඉන්න වෙලාවේ උන් කියන ඒවා කවුරුවත් අහන්නේ නෑ. ගොන් පාට් කියලා හිතනවා මිසක්. පේන්නැද්ද දැන් අපේ ටීම් එක කියන ඒවා මොකෙක් වත් පිලි ගන්නේ නෑනේ."

කත් ඇත්ත!...හැමෝම එකග උනා.

විසඳුම 2: කැබිනට් ක්රමය

"අපි පොරොන්දු වෙනවා පිට ටීම් එකේ හැම කෙනෙකුටම ලංකාවේ කැබිනට් ඇමති තනතුරක්. මොකාද අකමැති පන පිටින් දිවය ලෝකේ යන්ඩ? අනික අවුරුදු පහකින් පස්සේ ජීවිත් කාලෙම පැන්ෂන් එකකුත් හම්බ වෙනවා. ක්රිකට් ගැහුවා වගේද? උන්ට කරන්ඩ තියෙන්නේ දැන් අපේ ටීම් එක පරදිනවා වගේ ලොන්ත විදිහට පරදින එක විතරයි. වෙහෙස අඩුයි. ගා හොඳයි!!"

"ඉතින් ඔච්චර තොගේකට දෙන්ඩ තනතුරු තියනවද?"

"හහ්...හහ්...ඔබතුමා ලංකාවේ නෙවෙයිද?අපි හදලා දෙන්නංකෝ තනතුරු විසි දාහක් උනත්.."

"ඒකත් ඇත්ත!!" ආයෙත් හැමෝම එකග උනා.

විසඳුම 3: යහ පාලන ක්රමය

"මැච් එක පැරදී ගෙන එනකොට අපේ ටීම් එක, පිට ටීම් එකේ දෑත ශක්තිමත් කරන්ඩ හරි යහ පාලනෙකින් නව යුගයක් උදා කරමු හරි වගේ තව මොකක් හරි බයිලයක් කියලා උන්ගේ ටීම් එක ඇතුලට යනවා. කියන්නේ ටීම් දෙකම එකක් වෙනවා. එතකොට උනුත් දිනුම්. අපිත් දිනුම්."

"ඒ උනාට ලෝකෙම දන්නවනේ අපි පරාදයි කියලා" ආයෙත් එකෙක් කට දැම්මා.

"ආ...ඒකට මොකද?... උන් දිනුවේ අපි හින්දයි..අපි නැත්නම් උන්ට එල්ලෙන්ඩ වැලුත් නෑ..තව මාස දෙකකින් අපේම ටීම් එකක් දාල උන්ට රිඹ යන්ඩ දෙනවා වගේ කතා කියලා ප්රෙස් රිලීස් ටිකක් දාන්ඩ පුළුවන්නේ."

"ඉතින් ඕකට අයි.සී.සී එක කැමති වෙයිද?"

"අකමැති උනොත් අපි අයි. සී. සී. එක ඉස්සරහ උපවාසයක් පටන් ගන්නවා...බටහිර අධිරාජ්යවාදීන්ගෙන් ඇටබෝල ක්රීඩාව බේරා ගමු කියලා....අනික අපිට පුළුවන් නීතිය නවන්ඩත් ඕන නම්..."

"ඒකත් ඇත්ත!!!".... ආයෙත් ඔක්කොමලා එකග උනා.

විසඳුම 4: හොඳ කට්ටඩි මහත්තුරු කීප දෙනෙක් ගෙනල්ල එහා පිලේ උන්ගේ අත පය කොර වෙන්ඩ මතුරන එක.

"ඇත්තටම අපි මේ වැඩේ කරන්ඩ පුලුවන්ද කියලා දන ගන්ඩ තමයි මේ කට්ටඩි මහත්තුරුන්ට එන්ඩ කිවුවේ".

"කරන්ඩ නම් පුළුවන් මහත්තයයො හැබැයි ඔව්ව ලේසි වැඩ නෙවෙයි..."

"අපි කරන කිසිම වැඩක් ලේසි නෑ...කොච්චර අමාරු උනත් රට වෙනුවෙන් හිතලා අපි මෙව්වා කරන්ඩම වෙනවා. බලන්ඩකෝ කට්ටඩි මහත්තයෝ අපේ උන් ගහන්ඩ පිට්ටනියට ආපුහම බඩ එලිය යන්ඩ එනවා වගේ තදියමකින් නේ ආපහු ඇතුලට යන්නේ...බලා ඉන්ඩ පුලුවන්ද අප්පා මෙහෙම කෑමක් මනුස්සයෙකුට ඇස් දෙකකින්!!?"

"බලා ඉන්ඩ නම් බෑ තමා."
 
"ඇට බෝල සෙල්ලම නැති උනොත් අපි මොකේ සභාපති වෙන්ඩද? මට වැඩියක්ම දුක ඒක ගැන!!!" එහෙම කිවුවේ ලොකු මහත්තයා.

"මේ වැඩේ කරන්ඩ අපිට නර බිලි දෙන්ඩ වෙනවා..."

"ඕන එකෙක් කමක් නැද්ද?"

"කෙනා ගේ නෙවෙයි ප්රශ්නේ...එක පාරකට එක බිල්ල ගානේ මිනිස්සු හොයාගන්ඩ එපාය."

මේ වෙලාවේ කෙනෙක් ලොකු මහත්තයාගේ කනට කරලා රහසක් කිවුවා.

"ඒක හොඳයි....මොකද හිටියා කියලා උන් දැන් මැච් දිනන එකක්යැ..මේ වැඩේටවත් උන් ටික ගන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්. යන ගමන් සමහරු පොර ටෝක් ටිකකුත් දීගෙනම යයි ඇයි බලන්නේ දැකල නැද්ද කියලා."

ලොකු මහත්තයාගේ කනට කරලා කියපු රහස ඇහුනේ නැති උනත් හැමෝටම වගේ ඔය කියන කට්ටිය කවුද කියලා තේරුනා. ඒත් එක්කම හැමෝටම "ඒකත් ඇත්ත!!!" කියලා කියවුනා.


විසඳුම 5: ඇටබෝල සෙල්ලම නවත්තලා දාන එක

"හෑ..එතකොට මොකද පිට්ටනි ටිකට වෙන්නේ?" හුග දෙනෙක් ඇහුවේ එක පාරටම.

"සූරියවැව අලි අනාථාගාරයක් හදනවා...පල්ලෙකැලේ බතල වවනවා...දඹුල්ලේ ළූණු...ගාල්ලේ සුද්දන්ට ඉන්ඩ නියුඩ් පාක් එකක්...සරා එකේ ලයිසන් නැති බස් ඩ්රයිවර්ලා ට්රේන් කරන ලර්නස් එකක්..ප්රේමදාස එකේ අස්ස රේස්..."

ලොකු මහත්තයා විසිල් එකක් ගැහුවා

"මොක නැතත් මං අන්තිම එකට නම් කැමතියි...රෑට... රෑට... ප්රේමදාස එකේ අස්සයෝ දුවනවා මං හීනෙනුත් දැකලා තියනවා..."

"එතකොට දැන් ඉන්න ටීම් එකට මොකද වෙන්නේ?"

"උන්ට තාච්චි පනින්ඩ හරි  අල්ලං සෙල්ලං කරන්ඩ හරි චක් ගුඩු විදින්ඩ හරි පුරුදු කරනවා."

"ඊට පස්සේ ?"

"උන් අපිව දාල තියන අමාරුවේ හැටියට ඔයිට වඩා වෙන මොනවද?"

"ඒකත් ඇත්ත..." හැමෝම එකග උනා

5 comments:

  1. හොඳම විසඳුම අන්තිම එකද මංදා ;)

    ReplyDelete
  2. 5 වැනි එක හොඳම විසඳුම හිටං 😜😜😂😂

    ReplyDelete
  3. අන්තිම විසඳුම නියමයි .

    ReplyDelete
  4. ක්‍රිකට් මණ්ඩලේ සභාපතියි තෝරණ මණ්ඩලේ සේරම්යි අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවෙ අයගෙන් දාල බලමුද?එතකොට ඔය ගම්වල චන්දෙට වැඩකරලා ජොබ්ස් නැතිව ඉන්න එවුන් ටික ටීම් එකට දායිනෙ

    ReplyDelete
  5. USA ක්‍රිකට් ටීම් එකට මෙහෙට ආරාධනා කලා නම් බලවත් රටකටත් ගැහුවා කියන්න පුලුවන් නේ.
    අපි ඔය පරණ රටවල් අත ඇර දාලා නව මාවතකට යන්න ඕනෙ. කැනඩා, ස්කොට්ලන්ත, මැලේසියා වගේ අපිට ගැලපෙන රටවල් සමග නව නිම්වලලු සොයා යන්න ඕනෙ.

    මේ... ෂ්.. . ඇෆ්ගනිස්ථානෙට නම් විහිලුවට්වත් ආරාධනා කරන්න එපා. අයර්ලන්තෙත් ෂුවර් නෑ



    ReplyDelete