Thursday, August 10, 2017

හූ.... හූ.... උඹට ලැජ්ජාවක් තියනවා හූ... හූ..!!!


අද රවී කරුණානායක මහතා ඔහුගේ ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වීය. එය කල් ගත වී හෝ, විශාල ජනතා විරෝධයකට පසුව හෝ සිදු වීම එවැන්නක් සිදු නොවීමට වඩා යහපත්ය. ඔහු බැඳුම්කර සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි දිනයේ සිට ජනතාවගේ සිත් තුල ඔහු 'පුහුල් හොරකමට' සම්බන්ධ බවට සැකයක් නොවුනේ කර මත තිබුණු 'අලු ගසා දැමූ' නිර්ලජ්ජිත විලාශය අනුවය. එහෙත් ඔහු දැන් ගෙදර යන්නේ තමන්ට ලැජ්ජාව හා පිට කොන්ද බිඳක් හෝ ඉතිරිව තිබෙන බව පෙන්වමිනියි මම සිතමි.

ඔහුට විරුද්ධ පිලේ සිටින හෝ ඔහු සමග එක්ව සිටින කී දෙනෙකුට තම හර්ද සාක්ෂියට (එවැන්නක් ඔවුන් සතුව ඇත්නම්) එකඟව තමන් මහජන දේපොළ සොරකම් කොට නැතැයි කිව හැකිද? තමන් සතුව උපයා ගත් ආකාරය නීත්යානුකූලව හෙළි කල නොහැකි දේපොළ නැතැයි කිව හැකිද? සමහරුන්ට පැහැදිලි සාක්ෂි මත නඩු පැවරී තිබියදී 'තොත්ත බබාලා' ලෙස හැසිරෙන බව මහජනතාව දනිති. අවාසනාව ඔවුන් එය නොතැකීමය.

දැන් කරුණානායක මහතාට සිනා වන බොහෝ මහජන නියෝජිතයන් එසේ කරන්නේ  මෙසේ කියමිනි...

හූ.... හූ.... උඹට ලැජ්ජාවක් තියනවා හූ... හූ..!!!

හූ.... හූ.... බලපන් අපි තාම ඉන්න අපූරුව හූ... හූ..!!!

එලෙස සිනා සෙන්නන්ගේ ඉලක්කය කරුණානායක මහතාද පොදු මහජනතාවදැයි තීරණය කිරීම අප සියලු දෙනාගේ වගකීමකි.

අනෙක් අතට කරුණානායක මහතා ඉල්ලා අස්වූ පලියටම ඔහු විසින් අවභාවිතා කරන ලදි සිතිය හැකි මුදල් නැවත රජයේ භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත. එසේ නොලැබෙන තාක් මුදල පොලී සමග ගෙවන්නේ අපි අපිමය. කරුණානායක මහතා ඉල්ලා අස්වීම පිලිබඳ මාධ් සංදර්ශන තව සතියකින් හමාරකින් අවසාන වනු ඇත. සමහරවිට තවත් මාස තුන හතරකින් නැවත ඔහු ඇමති කමක් ලබා ගනු ඇත. එහෙත් පොදු මහජනතාව වන අපි සහ අපේ ඉදිරි පරම්පරා දිගටම ණයද පොලීද ගෙවමින් කඹුරනු ඇත.  


හූ.... හූ.... අපිට ලැජ්ජාවකුත් නෑ පිට කොන්දකුත් නෑ... හූ... හූ..!!!

2 comments: